RSS

Category Archives: රට බෙහෙත් නිකං ගැනීම

රට බෙහෙත් නිකං ගැනීම

රට බෙහෙත් නිකං ගැනීම

 

අපගේ පාර්ලිමේන්තුවේ ද ‘ඩිස්පැන්සරියක්’ හෙවත් වෛද්‍ය මධ්‍යස්ථානයක් තිබේ. පොදුවේ ගත් කළ මෙරට දේශපාලකයන්ගේ ඇඟ පත දෙස බලන විට එවැන්නක් පවත්වාගෙන යෑම ඉතා යහපත් ය.

වෛද්‍යවරයෙක් ඇතුළු සෙසු කාර්යමණ්ඩලයක් ද එහි සේවය කරති. මේ මධ්‍යස්ථානය මගින් කෙරෙනුයේ දේශපාලකයන්ගේ රුධිර පීඩනය මැන බැලීම, අවශ්‍ය නම් බර කිරා ගැනීම, රුධිරයෙහි හා මුත්‍රාවල සීනි ප්‍රමාණය මැන බැලීම, හිසේ කැක්කුමට ප්‍රතිකාර කිරීම වැනි පොඩිපහේ ප්‍රතිකාරයන් ය. ඒ හැරෙන්නට බරපතළ ප්‍රතිකාර – විධි මෙහි දී සිදු කරන්නේ නැත. එහෙත් රෝහලක් නො වූ මේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ශ්‍රී ලංකාවේ ම ඇස් යොමු ව තිබේ.

අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මැති – ඇමැතිවරුන් ගණනාවක් ඉහත ‘ඩිස්පෙන්සරිය’ ඔස්සේ පල් වැඩක් කර තිබේ. එනම්; ඉතා වටිනා ඖෂධ වර්ග රැසක් මේ ඔස්සේ පිටරටින් ආනයනය කොට ඒවා නොමිලයේ පරිහරණය කිරීම ය.

එම බෙහෙත් දේශපාලකයන් ගිල දැම්මේ ද නැතහොත් වෙනත් දෙයකට යොදා ගත්තේ ද යන්න දන්නේ නැත. එහෙත් වටිනා බෙහෙත් වර්ග ඇමැතිලාගේ සාක්කුවට හෝ මල්ලට හෝ වැටී ඇති බව පමණක් අපට දැනගන්නට ලැබේ. වැඩේ නම්; අන්තිම කැත ය. බාලය.

ඖෂධ අලෙවිය ලොව පුරා පවතින බලවත් වෙළෙඳාමෙකි. එය දෙවන වන්නේ මත්කුඩු ජාවාරමට පමණක් යැයි කියනු ලැබේ. පිටරටින් වටිනා ඖෂධ ගෙන්වාගෙන තම සාක්කුවට දමා ගත්තේ කවුරුන්දැ’යි ඉදිරියේ දී හඳුනාගැනීමට හැකිවනු ඇත. නව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් ජනාධිපතිතුමා වෙත භාරදෙන්නට යන බව දැනගන්නට ලැබේ.

එම වාර්තාවට අදාළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් වනු ඇත. මේ තක්කඩි ක්‍රියාව ජනතාවගේ බලවත් කෝපය ඇවිස්සීමට හේතුවක් වනු ඇත. අසරණ රෝගීන් සඳහා බෙහෙත් හිඟයක් බලපවත්වනු ඇතත්; දේශපාලකයන්ගේ බෙහෙත්වල හිඟයක් නැත.

පසුගිය කාලය පුරාවට ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ඊට අදාළ ආයතන මහජන ගර්හාවට ලක්විණි. ලබාදෙන එන්නත් පිළිබඳ සැකයක් පහළ වූයේ ඒ මගින් රෝගීන් කිහිප දෙනකු මරණයට පත්වීම නිසා ය. රුබෙල්ලා එන්නත කදිම නිදසුනෙකි.

කල් ඉකුත් වූ එන්නත් ගෙන්වා ඇතැ’යි ද, පිළිගත නො හැකි විදේශ ආයතන වෙතින් ඒවා ආනයනය කර ඇතැ’යි ද මතයක් ප්‍රචාරය විය. ඒ ගැන ප්‍රබල සංවාදයක් ඇති විය. ඖෂධ හිඟය ගැනත් එබඳුම කටකතා පැතිර ගියේ ය. අවසන් ප්‍රතිඵලය වූයේ හරි හෝ වේවා වැරදි හෝ වේවා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි විවේචනයට ලක්වීම ය.

තෙවන ලෝකයේ දුප්පත් රටවල් හා සසඳන විට අපගේ සෞඛ්‍ය සේවාව පැවැතියේ යහපත් තැනෙක ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ද එම හේතුව නිසා ය.

තව අතකින් පුරවැසියන්ට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එක් ව තිබිණි. මහා විශාල රෝහල් ගොඩනැඟිලි, ශල්‍යාගාර, රෝග විනිශ්චයට අදාළ නවීන මෙවලම් ආදිය අඩුවකින් තොරව මෙරට පැවැතිණි. අදත් ඒ ලෙස ම පවතී. ගෞරවණීය සෞඛ්‍ය සේවාව මුළුමනින් ම කඩා වැටී ඇතැ’යි අප කියන්නේ නැත. එහෙත් එය නරක ස්ථානයක් වෙත මාරුවෙමින් සිටි බවට තොරතුරු ලැබෙමින් පවතී.

නව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් කරන ලද සොයා බැලීමක දී ඉහත ජාවාරම හෙළිදරව් වී ඇත. පුදුමයකට මෙන්; මෙලෙස රට බෙහෙත් ලබාගෙන ඇති ඇමැතිවරු හොඳ ම – හොඳ සල්ලිකාරයෝ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන හැටියට නම් ඉහත ඇමැතිලාට රටෙන් භාගයක් මිලට ගැනීමට වුව ආර්ථික ශක්තියක් තිබේ. මහජන මුදලින් නඩත්තුවන ආයතනයක් අයථා වැඩකට යොදාගෙන ඇත්තේ ඉහත කී සල්ලිකාරයෝ ය. මෙය දූෂණයක් ලෙස ද, ජාතික අපරාධයක් ලෙස ද පෙන්වා දිය හැකි ය.

දේශපාලකයා හෙවත් මහජන නියෝජිතයා පිරිසුදු ජීවිතයක් ගත කරන ආදර්ශවත් චරිතයක් ලෙස පැවැතිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. සල්ලාලකමෙන්, බේබදුකමෙන් හා දුෂණයෙන් ඈත් වී සාධාරණ ජීවිත ගත කරන්නැ’යි මහින්ද රාජපක්ෂ මහතා සියලු දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඖෂධ සිද්ධිය වී ඇත්තේ ජනාධිපතිවරයා ගේ කතාවට පෙර ය. එනම්; අලුත් ඇමැති මණ්ඩලය පත්කිරීමට පෙර ය. මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ එක් දූෂණයක් පමණි.

ඇමැතිලාගේ අයථා ක්‍රියාව නිසා වැඩියෙන් ම අසරණ වන්නේ ද, වැඩියෙන් ම කෝපයට පත් වන්නේ ද මේ රටේ අහිංසක දුප්පත් රෝගී ජනතාව ය. ආදායම සරු අය පෞද්ගලික රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබා ගනිති.

ඒ සඳහා ලක්ෂ ගණන් ගෙවති. රජයේ රෝහල්වලට වඩා සාර්ථක පෞද්ගලික රෝහල් නූතන ශ්‍රී ලංකාවේ තිබේ. එහෙත් දිළිඳු ජනයා ගේ පිහිටට ඇත්තේ ආණ්ඩුවේ පින් ඉස්පිරිතාලය පමණි. එහි පවත්නා තදබදය වැඩි ය.

පහසුකම් ද අඩු ය. රෝගීන් සඳහා වූ හෙදකම ද ඇතැම් තැනෙක දී නිසි ලෙස ඉටු නො වේ. මේ හැරෙන්නට බරපතළ ඖෂධ හිඟයක් ද පසුගිය කාලය තුළ පැවැතිණි. එම ගැටලුව විසැඳීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගය පවා ලබාගැනීමට සිදු විය.

මෙබඳු තත්ත්වයක් පවතින බව දැන – දැනත්; ඇතැම් ඇමැතිවරුන් මහජන මුදලින් අයථා ලෙස ඖෂධ ගෙන්වා ගැනීම අනුමත කළ හැකි ක්‍රියාවක් නො වේ. මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටින මේ කිරි කොකුන්ගේ මඩ පාට දකින්නට නම්; ඔවුන්ගේ නම් හෙළිදරව් කළ යුතුය. සෞඛ්‍ය ඇමැතිවරයා එසේ නොකරන්නේ නම් රට බෙහෙත් නිකං ගැනීමේ හෙළිදරව්ව පුස්සක් වනු ඇත.

 http://www.dinamina.lk/2010/05/17/_art.asp?fn=e100517
Advertisements