RSS

Category Archives: ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු.

අහිංසක නැති බැරි ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව( ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු.)

පීඩිත ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව

Nurseදින තුනක් තිස්සේ මෙරට රජයේ රෝහල් බොහොමයකම  පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය මේ වන විට අවසන් වී ඇත. මාධ්‍ය වාර්තා හෙළි කරන අන්දමට මේ වන විට  වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ කුරුණෑගල මහ රෝහ‍ලේ පමණි.කුරුණෑගල රෝහ‍ලේ පවතින වැඩ වර්ජනයට මුල් වී ඇත්තේ සූතිකාගාර පුහුණුවට අදාළ ප්‍රශ්නයක් නොවෙතැයි කියන හෙද සංගම් ප්‍රකාශ කරන්නේ එය එම රෝහ‍ලේ පවුල් සෞඛ්‍ය  සේවිකාවන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී  ඇති උපදෙසක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීමක් වශයෙන් සිදු කෙරෙන වැඩ වර්ජනයක් බවයි. කෙසේ වෙතත් ඉකුත් දින තුනක් තිස්සේ පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය නිසා මෙරට රෝහල් ක්‍ෂේත්‍රයේ බරපතළ    බිඳ වැටීමක්  සිදුවූ බව  නොරහසකි. ඉකුත් දින කීපය තුළ මාධ්‍ය වාර්තා හෙළි කර තිබූ අන්දමට   එම කාලවකවානුව ඇතුළත සිදු කිරීම සඳහා කල් තියා දින ලබාදී  තිබූ සැත්කම් 40000ක්   පමණ කල් දැමීමට සිදුවී ඇත. හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් එම සංඛ්‍යා ‍ලේඛනයට ඇතුළත් නොවේ.
මෙරට  පැවැත්වෙන බොහොමයක් වැඩ වර්ජනවලින් මෙන්ම ඉකුත්දා පැවැති සෞඛ්‍ය  සේවා වැඩ වර්ජනය නිසාද බෙහෙවින්  අසරණ  තත්ත්වයට පත්වූයේ අත මිට මිල මුදල් නොගැවසෙන  නැතිබැරි ජනතාවයි. අප එසේ කියන්නේ රජයේ රෝහල් සේවකයන්ගේ වැඩ වර්ජනය නිසා යහමින් මිල මුදල් ඇති ධනවත් රොගීන්  කිසිවකුට හෝ එමගින් කිසිදු බලපෑමක් සිදු නොවූ බැවිනි. රටේ සෑම නගරයක් පාසාම පෞද්ගලික රෝහල් පිහිටුවා තිබෙන මෙකල ඇති හැකි ඕනෑම කෙනෙකුට එමගින් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම ඒ සඳහා මුල් වූ ප්‍රධානතම සාධකයයි. එහෙත් දිළිඳු ජනතාවට එවැනි   දෙයක් ගැන සිතීමට පවා අපහසුය.
ඒ අනුව ඉකුත් දින කීපය තුළ රජයේ  රෝහල්වල පැවැති හෙද සේවා වැඩ වර්ජනය නිසා දැඩි ලෙසම දුකට පත්වූයේ අන්ත අසරණ දුප්පත් රෝගීන් බව නොරහසකි. එය රෝහල්  ක්‍ෂේත්‍රයට පමණක් නොව මෙරට ඕනෑම ක්‍ෂේත්‍රයකට ‍පොදුවේ  බලපාන තත්ත්වයක් බවට පත් වී තිබේ.
එමගින් පැහැදිලි වන ප්‍රධානතම   කරුණක් වන්නේ ඉකුත්දා දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කළ සෞඛ්‍ය සේවකයන් එතරම්  වැදගත්කමක් නොමැති සුළු ප්‍රශ්න මුල් කර ගෙන මෙරට අන්ත අසරණ  දුප්පත්  ජනතාවගේ  ජීවිත පරදුවට තැබිමට පෙළඹී ඇති බවයි. කිසිවක් කරකියා ගත නොහැකි වූ අසරණ  වකුගඩු රෝගීන් සිය ගණනක් ඒ අතර සිටියහ. ඒ අතරින්  ඇතැම් දෙනෙකු තමන් මෙලෙස දුක් වේදනාවට පත් නොකර වස  පානය කිරීමට සලස්වා එක්වර මරා දමන ලෙස  වැඩ වර්ජකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ  වේදනාව දරා ගැනීමට පවා නොහැකිවය.
විද්‍යුත්  මාධ්‍යයෙන්  විකාශය වූ එම අසරණ රෝගීන්ගේ දුක් අදා්නා දැක දැකත් වැඩ වර්ජක වෘත්තීය සමිති නායකයන් තම ඉල්ලීම්   දිනා ගන්නාතුරු සටන අත්නොහරින බවට වහසිබස්  දෙඩූ බව අපට මතකය. සෞඛ්‍ය  සේවකයන්ගේ වැඩ වර්ජනය  නිසා විපතට පත් වී සිටින අසරණ රෝගීන්ගේ ජීවිත ගැන හෝ සානුකම්පිතව සිතා බලා වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාටද ඉල්ලීමක් කිරීමට සිදුවූයේ උද්ගත   වෙමින් පැවැති  තත්ත්වයේ බරපතළකම සලකාගෙනය.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම ඉල්ලීමට දක්වන ලද ප්‍රතිචාරයක් වශයෙන් හෝ මෙරට  සමස්ත ජනතාව අතරින් තමන් වෙත එල්ලවෙමින් පැවැති  අප්‍රසාදය නිසා බියට පත්වීම නිසා හෝ වෘත්තීය  සමිති නායකයන් පසුව තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කිරීම වෙනම කතාවකි. එහෙත් මෙහිදී  පැන නැගෙන ප්‍රශ්නය වන්නේ වැඩ වර්ජනයට මුල් වූ පුස්තුතය මුළු රටටම  ඉතා අයහපත් ලෙස බලපාන අන්දමේ බරපතළ  තීන්දුවක් ගැනීමට තරම් වැදගත් දෙයක්දැයි යන්න පිළිබඳවය. මෙය මෙරට වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ   පමණක් නොව සමස්ත ජනතාව  අතරම ඉතා පුළුල්  වශයෙන්  සංවාදයට හා විමර්ශනයට ලක් විය යුතු කරුණකි.  අප එසේ කියන්නේ  මෙවැනි අත්තනෝමතික හා හිතුවක්කාර වැඩ වර්ජන ඉදිරි කාලය  තුළත් පැන නැගීමට ඉඩ ඇති බැවිනි

Advertisements
 

ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවාලු. (පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයෙන් පළාත් 3ක රෝහල් 125ක්‌ ලෙඩ වෙයි)

Divaina/2014/05/07

(පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයෙන්  පළාත් 3ක රෝහල් 125ක්‌ ලෙඩ වෙයි)

doctor-kidneyසේවා ඉල්ලීම් දෙකක්‌ මුල්කරගෙන උතුරු, නැගෙනහිර හා උතුරුමැද යන පළාත්වල රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ඊයේ (06 දා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් එම පළාත්වල රෝහල් 125 ක පමණ බාහිර රෝගී අංශවලින් බෙහෙත් නිකුත් කිරීම, එක්‌ස්‌කිරණ/ ස්‌කෑන් පරීක්‍ෂණ සිදුකිරීම, වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය මත ඊයේ බාහිර රෝගී අංශ වෙත පැමිණි රෝගීහු හා නේවාසික රෝගීහු විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.

වර්ජනය ක්‍රියාත්මක වූ යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ ඔසුසල් වසා දැමීම නිසා පිටත ඔසුසල්වලින් බෙහෙත් ලබාගැනීමට බාහිර රෝගීන්ට පහසුකම් සලසා දී තිබූ අතර මේ හේතුවෙන් එම රෝහල් අවට ඔසුසල් අසල දිගු පෝලිම් දක්‌නට ලැබිණි.

කෙසේ වුවද ප්‍රාදේශීය කුඩා රෝහල් අවට ඔසුසල් නොමැතිවීම නිසා එම රෝහල්වලින් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසකට ඊයේ හිස්‌ අතින් නිවෙස්‌ බලා යැමට සිදුවිය. වර්ජනය ක්‍රියාත්මක වූ රෝහල්වල ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණයන්, එක්‌ස්‌රේ/ ස්‌කෑන් පරීක්‍ෂණයන් හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර ක්‍රියාත්මක නොවීම නිසා එම පරීක්‍ෂණ හා ප්‍රතිකාරවලට මුහුණදීමට නියමිතව සිටි රෝගීන්ට වෙනත් දින ලබාගැනීමට සිදුව තිබේ.

මෙම වර්ජනය අද ද (7 දා) ක්‍රියාත්මක වන අතර අද උදෑසන සිට ඌව, වයඹ හා සබරගමුව පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් මෙම වර්ජනයට එක්‌වීමට නියමිතය.

හෙට (08 දා) සිට මෙම වර්ජනයට බස්‌නාහිර, දකුණු හා මධ්‍යම පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් එක්‌වීමට නියමිත අතර ඒ සමඟම වර්ජනය දීපව්‍යාප්ත මට්‌ටමින් එදින පැවැත්වෙන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම නතර කිරීම හා ප්‍රමාද වෙමින් පවතින එම වෘත්තිකයන්ගේ සේවා උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මෙම ඉල්ලීම් මුල්කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ විශාල පිරිසක්‌ ඊයේ දහවල් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ගොඩනැඟිල්ල හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඒමන්ති මාරඹේ, පොලොන්නරුව – කරුණාරත්න ගමගේ සහ නාත්තන්ඩිය – රෙක්‌ස්‌ හැරිසන්
http://www.divaina.com/2014/05/07/news02.html