RSS

Category Archives: ගල විකුණගෙන කන්න හැදූ දොස්තරයා…

ගල විකුණගෙන කන්න හැදූ දොස්තරයා…

මදැයි අද උදේ ගෙදර යන්ට බලං හිටියා…
දැන් දවස් 4ක් එක දිගට මෙතන ඩියුටි. පහුගිය බදාදා ආව ගමන තාමත් එහෙමමයි. මගේ අනිත් සගයා ගියා බදුල්ලේ මඟුල් ගේක යන්ට කියලා… මාත් ඔය පොත් ප්‍රදර්ශන බලන්ට යන්ට එහෙක කියලා දවසක් දෙකක් නිවාඩු ගත්ත හින්දත්.. එක දිගට දවස් හතරක් ඇද්දම ආයෙමත් මාසේ අන්තිමට තව දවසක් දෙකක් නිවාඩුවක් ගන්ට ඇහැකි නිසාත් මාත් ඉතිං අකමැත්තක් නැහැ මෙහෙම අදින්ට..ඒත් යන්ට හිතං හිටිය වෙලාවට යන්ට නැති උනාම තමා යක්ෂයා ආරූඬ වෙන්නේ…
මං ඉතිං උදේම නාලා කරලා ඊයේ රෑ හෝදලා දාපු යුනිෆෝම් එක එහෙමත් මැදලා තියලා සිවිල් පිටම හිටියා උදේම යන එකනේ කියලා..මොන උදේ අටත් පහුවේගන ආවා.. ඒ පාර කොල් එකක් දාලා බැලුවම බුවා තාම මග එනවළු… ආවට පස්සේ එන්නද නැත්තං රෑටම වැඩට එන්නද කියලා අහනවා… ඔය කිව්වට දවල් කීයට එයිද කවුද දන්නේ… එහෙම උනාම වෙන්නේ මට කඩේට කෑම එකක් ගේන්න ඕඩරයක්වත් දාන්න හැටියක් නැති එකයි. අද උදේට කන්නත් නැහැ තාම..ඇයි ඉතිං මේ මනුස්සයා එයි කියලා හිතාගෙන මං හිටියේ ගෙදර ගිහින්ම කනවා කියලා.. නැත්තං උදේම කඩේට ගිහින් මොනවා හරි ගේනවා කන බොන දෙයක්. අද ඉතිං ඒකත් ජලා හුටං.දැන් ඉතිං හිටංකෝ ඔටුවා වගේ කවුරු හරි කඩේ යන්ට එනකල් මොනවා හරි ගෙන්න ගන්ට…
එතකං හිතේ කේන්ති යන්ටත් එක්ක මොනවා හරි ලියන්ටයි හදන්නේ…බලමු අද මල්ල හාරා අවුස්සලා මොනවද අහු වෙන්නේ කියලා…?
………………………………….
හැම තැනම දොස්තරලා ගැනයි විස්සවිජ්ජාල ගැනයි. මෙඩිකොල් ෆැකොල්ටි ගැනයි කතාව නෙව. ඔය අහු අස්සේ මට මතක් උනේ මං මේ ලියන්න හිතං හිටිය පුංචි කතාවක් මට අතෑරුනා නේද යකෝ කියලා…
ලිව්වද කියලා මතකත් නැහැ..ඒත් ඒක හොයන්න පරණ ලියාපුවා පෙරල පෙරල ඉන්න හැටියකුත් නැහැ… ඒ හින්දා ඕන කෙංගෙඩියක් කියලා ලියලා දාඤ්ඤංකෝ…
ඔය කස්ටිය දන්නවනේ පහුගිය දවස්වල මංතුමා ටිකක් අසනීප උනා කියලා… ඒ කියන්නේ මැයි මාසේ මුලදී වගේ… මුලින්ම ඕක උනේ වැඩ පොලේ ඉන්නකොට..උදේ හයට හතට වගේ යටි බඩ පැත්තෙන් කැක්කුම අල්ලගෙන එනකොටම මං දැනගත්තා ලෙඩේ මොකක්ද කියලා..මොකද මට ඕක මීට අවුරුදු හතරකට පහකට කලියෙන් හැදිලා තියෙනවා…
ලෙඩේ තමා මුත්‍රාශයේ ගල් සෑදීම.. දැන් මේ කැක්කුම් අල්ලන්නේ එහෙම හැදුන ගල් කෑල්ලක් කොහේ හරි හිර වෙලා වගේ කේස් එහෙකට තමා… මේකේ භයානක කම තියෙන්නේ කැක්කුම අල්ලලා පැයක් යනකොට ඉන්න හිටින්න බැරි තත්වෙකට පත් වෙනවා… එතකොටනං මැරෙන එක හරිම සැපයි..මෙහෙම විඳවනවට වඩා..
කොහොම හරි ඩියුටි මාරු වෙන්නත් පැයක් විතර තිබුන හින්දා මං පුදුම අමාරුවකින් හිටියේ… හිටගෙන හිටියා… වාඩි වෙලා හිටියා… ඩියුටි හින්දා නිදාගන්න හැටියක් නැහැනේ..මිදුලට බැහැලා ඇවිද්දා.. දිව්වා..උඩ පැන පැන හිටියා.. එක විකාරයයි.. ඉන්න බැහැ කැක්කුම.
මුත්‍රා කරන්න ඕන වගේ දැනුනට මුත්‍රා පිට වෙන්නෙත් නැහැ. බඩ පිපෙනවා වගේ දැනෙනවා..ඉන්න හිටින්නම බැහැ..කොහොම හරි පැයක් වගේ මෙහෙම මැරි මැරි ඉන්නකොට අනිත් කෙනා ආව හින්දා මං දඩ බඩ ගාලා ඩියුටිය බාර දීලා ගෙදර ගියා ඒ මනුස්සයටවත් කියන්න ගියේ නැහැ ඉන්නේ අමාරුවෙන් වග.
කොහොම හරි ගෙදර ගිහින් ඇඟ පොඩ්ඩක් හෝදගෙන ඇදුමක් දාගෙන ඉස්පිරිතාලේ යන්න කියලා හිතුවට මට දැන් කෙලින් ඉන්නවත් හැටියක් නැහැ. නාන කාමරේට ගිහින් ඇඟ හෝදගන්න හැදුවට එක විදියකටවත් ඉන්න බැහැ.. ඒ පාර එතනම වැටිලා පැත්තකට හැරිලා නිදා ගත්තා නාන කාමරේ සිමෙන්ති පොලවේ අමු නිරිවස්තරෙන්..ආයේ ඉතිං මොකාට පේනවා කියලද..?
ටිකක් වෙලා කෙඳිරි ගගා පැත්ත වැටිලා ඉන්නකොට අර බිම තියෙන සීතල ගතියට පොඩි පහසුවක් දැනෙන්න ගත්තා. ඒ පාර පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතිව එහෙමම හිටියා..හෙල්ලුනොත් හරි ආයේම වේදනාව වැඩි වෙයි කියන බයටමයි එහෙම හිටියේ. කොහොම හරි මට එතනම නින්ද ගියා පැයක් විතර..පස්සේ දවල් දහයට විතර කිට්ටුවෙලා නැගිටලා නාගෙන කරගෙන ලෑස්ති වෙලා ගියා බෙහෙත් ගේන්න කියලා..
දැන් ආයෙමත් ටික ටික වේදනාව අල්ලනවා මට තේරෙනවා…
ගෙදරින් හිතාගෙන ආවේ වතුපිටිවල ඉස්පිරිතාලේ කිට්ටුව තියෙන පෞද්ගලික රෝහලට යන්න උනත් අතර මගදී වතුපිටිවල ඉස්පිරිතාලේ ගාවම නවතින්න උනා පොඩ්ඩකට… ඉස්පිරිතාලේ ඉස්සරහමනේ මං මගේ කාර්යාලය දාලා තිබුනේ. ඉතිං කඩේ දොර ඇරලා මගේ ලැප් ටොප් එක ඇතුලෙන් තියලා දොර වහලා එළීයට එනකොට එතනම තිබුන රෙදි කඩේ අක්කා ඇහැවුවා
“මොකද මල්ලි අද කඩේ අරින්නේ නැද්ද..?” කියලා..
ඒ පාර පොඩ්ඩක් නැවතිලා මං කිව්වා මෙන්න මෙහෙම අසනීපයක් හැදිලා ඉන්නේ..ඒ හින්දා ගිහින් අහවල් තැනින් බෙහෙත් අරං එන්න ඕන කියලා… ඒ පාර උන්දෑ කියපි අනේ මල්ලියේ එතනට යනවට වඩා මේ වෙලාවේ ඔයා යන්න ඉස්පිරිතාලෙට… අතන මේ වෙලාවට හොඳ දොස්තරලා නැහැ..මෙහෙ ඉන්න අයමනේ හවසට එතනට යන්නේ කියලා… ඒ පාර බයික් එක එහෙමම තියලා ගියා ඉස්පිරිතාලේ ඇතුලට…
එහෙං මෙහෙං විපරං කරලා තුණ්ඩුවක් ගත්තා උනත් මට දැන් ඉන්න බැරි තරං අමාරුයි.. ඒ අස්සේ ලෙඩ්ඩු පෝලිම මීටර් දහයක් විතර දිගට.. අමාරුවෙන් දිව හපාගෙන විනාඩි විස්සක් විතර හිටියත් පෝලිම හෙල්ලෙන පාටක්වත් නැති හින්දා බැරිම තැන ඉස්සරහට ගිහින් යන්තං වගේ දොස්තර ඉන්න කාමරයට ඔළු දාලා බැළුවම එතන වෙන සාකච්ඡාවක්.. දොස්තරගේ හිතවතෙක් හරි වෙන මොකෙක් හරි ඇවිත් එයාලා ආගිය කතා කතා කරනවා වගේ දැක්කේ..මට තේරුනා මේ මඟුල හරියන්නේ නැති විත්තිය..
ඔයිට කලින් වංගියක ගම්පහ සමූපාකාර රෝහලට මං ගියානේ අර රියදුරු බලපත්‍රයට වෛද්‍ය අනුමැතියක් ගන්න..ඒ වෙලාවෙත් මං දැක්ක දෙයක් තමා ලෙඩුන් බල බල හිටිය දොස්තර වරිය හම්බවෙන්න ආව වෙද නලාවකුයි තඩි පොතකුයි අතේ තියෙන පොරක් හෙන අයියා වගේ ගිහින් මේ ඒ හැටි බරපතල නොවන ආගිය තොරතුරු කිය කිය අර වෛද්‍යවරියගේ කාලේ කාපු හැටි. එච්චර වෙලා හොදට ලෙඩ්ඩු බලපු උන්දැත් හරියට සල්මන් ඛාන් දැක්ක ලංකාවේ කෙල්ලෙක් වගේ දපනේ දාගෙන එතන තොදොල් වෙන්න ගත්තා.. ලෙඩ්ඩු අනාථයි.
ඉතිං ඔය අත්දැකීමත් තියෙන හින්දා මං තීරණය කලා මෙතන තව ගත කරන එක විනාඩියත් අපරාදේ කියලා.. ඒ පාර මං ආයෙමත් බයික් එකත් අරං අර කිව්ව පෞද්ගලික රෝහලට ගියා…
අපරාදේ කියන්න බැහැ මුල් ටිකනං… යනකොට හුගක් ලෙඩ්ඩු හිටියේ නැහැ.. එතන ඔපීඩී එකට ගිහින් විනාඩි දහයක් විතර යනකොට ඇතුලට යන්න හම්බ උනා. හිටියේ මැදි වයසේ දොස්තරවරියක්.. බොහෝම කාරුණිකයි..ඉක්මනට විස්තරේ අහලා බලලා එතනම ඇතුලේ තියෙන ඇදක් සූදානම් කරවලා මට සේලයින් එහෙකුත් දෙන්ට සලස්වලා තව අපි රෝකට් කියලා හඳුන්නවනු ලබන සිහින් බෙහෙත් කූරක් ගුද මාර්ගය හරහා ඇතුල් කෙරෙව්වා. ඒ කරලා මට ටිකක් විවේකීව ඉන්න සැලැස්සුවා..ඇත්තටම ඔන්න යාන්තං පැයක් විතර යනකොට මං සාමාන්‍ය තත්වයට ආවා..
ඊට පස්සේ බෙහෙත් වගයක් ලියලා දීලා එක්ස්රේ එකකුත් අරං එන්න ලියලා දුන්නා. ඒක ගන්න කිව්වේ පහුවෙනිදා…
ඉතිං ඔය එක්ස්රේ එක ගන්න එන්න කිව්ව දවසේ පාන්දර බඩ සුද්ද වෙන්න බෙහෙත් එහෙම බීලා ආවත් එදා එක්ස් රේ මැෂිම කැඩිලා. කොහොම හරි දෙවෙනි පාරටත් බඩ සුද්ද වෙන්න බෙහෙත් බීලා ඊට දවස් දෙහෙකට පස්සේ ගත්තා එක්ස්රේ එක.
ඒ ගත්තු එකත් අරගෙන ආයෙම ගියාම අර දොස්තරතුමිය ගාවට එතුමිය කියනවා මේක හවසට මොකාටද මංදා පෙන්නන්නළු… මල මඟුලයිනේ.. ඇයි මේ උන්දෑ එතකොට පාස්කරලා තියෙන්නේ දොස්තර විභාගේ නෙවෙයිද..? සාමාන්‍යයෙන් එක්ස්රේ එකක් බලලා මුත්‍රා ගල් සම්බන්ධව බෙහෙතක් හේතක් ලියා ගන්නවත් බැරි.. අඩුම ගානේ ඒ සම්බන්ධ සුළු හෝ දැනුමක් නැති කෙනෙක්ද..?
මාත් ඉතිං හාකෝ කියලා එළියට ඇවිත් අර කිව්ව මොකද්ද මංදා ඉංග්‍රිසී අකුරු වලින් කියපු හාදයා හම්බ වෙන්න සල්ලි බැඳලා රිසිට් එහෙකුත් අරගෙන ආපහු ගිහින් හවස ආවා.
මගේ රිසිට් එකේ වෙලාව තිබුනේ හවස හය කියලා උනත් අනිත්මේදී හත විතර වෙලා තමා මට ඒ ඉංගිරිසි අකුරු උත්තමයව හම්බ වෙන්න ඇහැකි උනේ.
ඒ ගියාම මගේ නම වයස එහෙම අහලා ලියාගෙන අසනීපේ ඇහැවුවම මං කිව්වා විස්තරේ.. ඒ පාර බඩ එහෙම ඔබලා.. හුස්ම ගන්න එහෙමත් කියලා ටිකක් කල්පනා කරලා කියනවා මේක මෙහෙම බලන්න බැහැ එක්ස්රේ එකක් ගන්න ඕන කියලා… මං පටස් ගාලා දුන්නා ආ මෙන්න තියෙනවා ගත්ත එක්ස්රේ එක කියලා..ඒක මෙච්චර වෙලා මේ මනුස්සයට පෙනිලා නැතිවද කොහේද…
ඔන්න උන්දෑ ගත්තා එක්ස්රේ එක අතට..අපරාදේ කියන්න බැහැ ඕන පිංගුත්තරයෙකුට ඒකේ පැහැදිලිව පේන්න තියෙනවා මුත්‍රාශයේ ගලක් තියෙන විත්තිය සහ ඒකේ පැහැදිලි සටහන…(මටත් පෙනුනේ..)
ඔය තියෙන්නේ..ඔයාලටත් පේනවා නේද..?
ඉතිං උන්දෑ බැළුවා මේක ගත්තා අතට පෑන.. මොනවද මංදා ලියන්න වගේ ගිහින් ආයෙමත් නැවතුනා.. හැරුනා මගේ පැත්තට…
“ඔව් එක්ස්රේ එකේ හැටියටනං ගලක් තියෙනවා තමා..ඒත් අපි තව කෝකටත් ස්කෑන් එහෙකුත් කරමු..”
මං ඉතිං මොනවා කියන්නද ඔහේ උගුඩුවා වගේ බලං ඉන්නවා..අර මනුස්සයා මොන මොනවද ලියලා මගේ අතට දුන්නා කොලයක්…දීලා කියනවා…
“ආ මෙන්න මේ ස්කෑන් එක කරගන්න. ඒක කෙරෙන හැටි රිසෙප්ෂන් එකෙන් කියයි. ඊ ළගට මෙන්න මේ මුත්‍රා පරීක්ෂනයත් කරං එන්න..මං දැනට බෙහෙත් කිහිපයක් ලියලා තියෙනවා ඒකත් පාවිච්චි කරන්න”
මං ඒ ටිකත් අරගෙන අර කිව්ව විදියටම තවත් දවසක හවස් වරුවක් කාගෙන ස්කෑන් එකත් කරගෙන..කලින්ම කරගත්තු මුත්‍රා පරීක්ෂණයේ රිපෝට් එකත් අරගෙන ආවා මේ ටික පෙන්නන්න කියලා…
කොහොම හරි එදත් පැයක් එක හමාරක් පෝලිමේ ඉඳලා කොහොම හරි ගියා ඇතුලට. ගිහින් කිව්වා මං ආවේ එදා අර කියපු පරීක්ෂණ වාර්ථා ටික පෙන්නන්න කියලා…
ලොක්කා ගත්තා ඒ පාර මුත්‍රා පරීක්ෂණ වාර්ථාව..බැළුවා ටිකක්.තිබ්බා ඒක පැත්තකින්..ගත්තා ස්කෑන් එකේ රිපෝට් එක… බැළුවා ඒකත්… ඊට පස්සේ ඒක ආයමත් දෙකට තුනට නවන ගමන් කියනවා මෙහෙම…
“හ්ම්ම්ම් මුත්‍රාශයේ පොඩි ගල් කෑල්ලක් තියෙනවා… ඒක මුත්‍රා මාරගයේ පහලට වැටිලා හිර වෙලා තියෙන්නේ.. අපි කෝකටත් එක්ස් රේ එකක් අරගෙන බලමු..”
මුගෙ අම්මට හු** ගන්න ඔන්න මට යකා නැග්ග වෙලාව… අම්මපා කේන්ති යන එක කේන්ති ගියා උපරිම…
“ඇයි මං කලින් එක්ස්රේ එක පෙන්නුවේ..ඒක බලලා මදි කියලා නේද ස්කෑන් එකක් කරන්න කිව්වේ..දැන් මොකටද ආයෙමත් එක්ස්රේ එකක් කරන්නේ..?” තද වෙච්ච පාර මං එහෙමම කිව්වා විතරයි..
“ආ ආ ඇත්තද..හරි හරි එහෙමනං මං බෙහෙත් ටිකක් ලියලා දෙන්නං..” කියලා ඔන්න ලියපි දිග තුණ්ඩුවක්…
ඒක එහෙම මගේ අතට දීලා ආයමත් වංගියක් මෙන්න පොර මට දෙනවා අනුශාසනාවක්…
“මේ බෙහෙත් ටික ගන්න.. ඒ ගමන්ම ඔය සිංහල බෙහෙත් ටිකකුත් කරන්න. මේ වගේ දේවල් වලට හොඳ සිංහල බෙහෙත්. ඒවායින් ඔය ගල් දිය කරන්න පුළුවන්…දන්නවනේ ඔය අක්කපාන..කැකිරි වගේ ජාති එහෙම..”
ඒකනං ඇත්ත තමා..මොකද මං කලින් වංගියෙත් අක්කපාන කොළ සම්බෝලෙන්ම තමා ගොඩ ආවේ..ඒත් ඉතිං ඒවයින් ගොඩ යන්නනං මොන එහෙකටද මේ බෙහෙතුත් ලියන්නේ.. තේරුං ගන්න අපහසු වගේම මෙතන මංනේ ලෙඩා.. කියලා මතක් උන හින්දා මං ඔළුව වනලා ඇවිත් අර බෙහෙතුත් බොන ගමන්ම අක්කපාන කොල සම්බෝලත් කාලා යන්තං එක්තරා උදෑසනකදී ඔය කිව්ව ගල් කෑල්ල එළියට පන්න ගත්තා…
කොහොම හරි වැඩේ ඉවර වෙනකොට මට ඔය පුංචි ගල් කෑල්ල සෑහෙන ගානකට තට්ටු කරවලයි තිබුනේ.. ඒත් ඒ ගල් කෑල්ලට වඩා ගානකට අර දොස්තරයා තට්ටු කරන්නයි ලෑස්ති උනේ… ලෑස්ති උනා නෙවෙයි ඇත්තටම ඌ ඒ වෙනකොටත් තට්ටු කරලා තිබුනේ. තව ඩිංගෙන් තවත් තට්ටු කරනවා…
……………………………………
ඇත්තටම මේක ලියන්න උනේ කාලකණ්නි දොස්තරලාගේ හැටි ලියන්න මිසක් අතරින් පතර අහු වෙන හිත හොඳ මනුස්සකං දන්න දොස්තරලාගේ හිත රිදවන්න නෙවෙයි කියන කාරනාවත් කියන්න ඕන. මොකද මුදල් ගැන හිතන්නෙ නැතිව මට උදව් උපකාර කරපු දොස්තරවරු කිහිපදෙනෙක්ම මගේ මතකයේ ඉන්නවා… පිඹුර ඉස්පිරිතාලේ ඩී ඇම් ඕ මහත්තයා වගේම වතුපිටිවල ඉස්පිරිතාලේ හිටිය මුස්ලිම් තරුණ වෛද්‍යවරියක් එහෙම ඒ අතරින් සුවිශේෂයි. ඒත් එහෙම අය බොහෝම අල්පයක් තමා ඉන්නේ. වැඩි හරිය ඉන්නේ මං ඔය කලින් කිව්ව ජාතියේ දොස්තර මුදලාලිලා… උන්ට එහෙම කියන්න මං පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ..
උන් තමා වෛද්‍ය වෘත්තීය වේසකමේ යවන්නේ… එහෙම උන්ට හෙන ගහපං කියලා කියනවා ඇර වෙන මොනවා කියන්නද..?
අනිත් දේ තමා එහෙම උන්ට වැරදිලාවත් දොස්තර මහත්තයා කියන චවනේ පාවිච්චි කරන්න මං කැමති නැහැ… ඒත් බල්ලෝ මී හරක්..බූරුවෝ කියලා කියන්නත් බැහැ ඒක ඒ කාටවත් වරදක් නැති අහිංසක සත්තුන්ට කරන අපහාසයක්.. උන් ඒ තරමටම හොඳයි මුං එක්ක බැළුවම…
…………………………………………………
මට තියෙන අනිත් ප්‍රශ්නේ තමා ඉගෙන ගන්නවා වැඩි වෙන්ට වෙන්ට වෛද්‍යවරු බබාලා වෙනවද කියන එක. පුංචි ලෙඩේටත් විශේෂඥ වෛද්‍යවරුම ඉන්ට ඕන අහවල් එහෙකටද..? සාමාන්‍ය එම් බී බී එස් වෛද්‍යවරුන් කියන්නේ මුත්‍රා ගල් වැනි රෝගී තත්වයක් ගැනවත් ප්‍රතිකාර කරන්න දන්නේ නැති අත දරුවොද..? අම්මප ඔය එම් බී බී එස් කියන්නේ අර මං බාස් කොරපු එම් බී බී එස් එක වගේම ඇති කයලත් මට වෙලාවකට හිතෙන්නේ ඔය වගේ වෙලාවට තමා…
අනේ ඉතිං හිච්චි එකා කාලේ ඉඳලා මගේ ලෙඩ දුක් වලට බෙහෙත් හේත් කල ගොඩ වෙදෙක් වෙච්ච අපේ මාමාට නිවන් සුවම අත් වෙන්න ඕන…
අදටත් උන්දැගේ තෙල් බෙහෙත් සාත්තුවලට පින් සිද්ධ වෙන්න තමා මගේ හතර හන්දි මෙහෙමවත් තියෙන්නේ…ඉපනැල්ල ගලවලා ගහ ගන්ට ගිහින් පස් කුට්ටියක්ම ඇහැට ගිහින් මාව නැත්තටම නැති වෙච්ච වෙලාවේ කොහොඹ දළු..රතුළුණූ..නිදිකුම්බා මුල් වගේ දේවල් වලින් බෙහෙත් කරලා ඇස් දෙක සනීප කලේ නැත්තං අද මං එකැස් බුවෙක්..හන්දි වෙදකං කරන ගමන්ම ඇස් වලටත් බෙහෙත් කරන්න තරං දක්ෂ උන මාමාගේ හැටියට බලපුවාම මේ එම්බීබීඑස් ලට වඩා මාමාගේ ගොඩ වෙදකං හොඳයි කියන තත්වෙට මාව පත් කලේ උන්දැලම මිසක් වෙන කවුරුවත් එහෙම නෙවෙයි ඕං…
එක මකුණෙක් කෑවම ඉතිං ගේම දෙනවනේ රැලටම නේද..? මගේ කැත පුරුදු..ෂික්
(අන්න අරහේ ප්‍රමිතියක් ගැනත් කවුද මංදා මොනවද දොඩවනවා ඇහුනා..)

33 comments:

  1. උඹේ වැඩවල හැටියට තියෙන්න තිබුනේ හෙන සයිස් ගලක් මිසක් ඔය පොඩි පොඩි ගල් කෑල්ලක් නෙවෙයි…. මේවා සොහොන් ලකුණු.. ඊට කලින් නරකද තමන්ටම කියලා මොනවාහරි කරගත්තොත් මාර මල්ලි…. අද මම ද පළවෙනි… කුජීතයි..

    Reply

  2. ඒ කියන්නෙ දැන් මාරයියට ලෙඩේ සනීපයි, ඇති යන්තං ….

    ඔය මුත්‍රාශයේ ගල්වලට, අංශභාගෙට වගේ ලෙඩ ගොඩකට හොඳ සිංහල දොස්තර කෙනෙක් ගැන මම ලිපියක් ලිව්වා “විශ්ම කර්ම වෛද්‍යවරයෙක්”
    කියලා. කැමති අය කියවලා බලන්නකෝ ….

    Reply

  3. මංකොල්ලකාර දොස්තරලට නරක කාලයක් ලබල වගේ… 🙂

    Reply

  4. තව දෙයක් කියන්න ඕන, ඔය හුඟක් පෞද්ගලික් ආයතනවල නම් හිසේ කැක්කුමකට බේත් ගන්න ගියත් එක්ස්‍ රේ ලියනවා. මොකද ගාන කපන්න පුලුවන්නෙ ……….

    ඇත්තටම හුඟක් දොස්තරලා දැන් මුදල් පස්සෙම එලවන්න පටන් අරන්, මනුස්සකම කියන එක ගෑවිලාවත් නැහැ, සමහර ඩොක්ටර්ස්ලව හම්බ වෙන්න කමරේ ඇතුලට යනකොට බේත ලියලා ඉවරයි, ලෙඩාගෙ හිත හැදෙන්න වචනයක්වත් කතා කරන්නවත් මානුෂික නැහැ …..

    මට ඇත්තටම ඔය ගැන නම් අමිහිරි අත්දැකීම් තියනවා, දුකයි අපේ වෛද්‍ය වෘත්තිය ගැන ….

    ඔය අතර හොඳ දොස්තරලත් නැතුවම නෙවේ …..

    Reply

  5. ගල් ගිල්ලනං උගුඩුව වගෙ බලාගන ඉන්න වෙනව 🙂

    Reply

  6. සැහ් තව අවුරුදු 5ක් ඉවසුව නම්….!

    Reply

  7. ත්‍රී වීලර් ඩ්‍රයිවර්ලා, මේසන් බාස් ලා, වාගේ එපාකරපු වෘත්තිකයින්ගේ ගේ කුලකයට දොස්තරලා වැටෙන දවස වැඩි ඈතක නෑ…

    මිනිහෙක් බේතක් ගන්න එන්නේ මානසිකවත් කායිකවත් අසරණ වෙලා කියලා අපි රටේ දොස්තරලා [මට මුණගෑසී ඇති අයගෙන් බොහොමයක්ම] සලකන්නේ නෑ… බඩුවක් ගන්න කඩේකට ආපු මිනිහෙකුට වඩා වැඩියෙන් ඔවුන් රෝගීන්ට සලකන්නේ නෑ…

    දොස්තරලාගේ වෘත්තීය අයිතිවාසිකම් වුනත් ඒ ගොල්ල පවතින සමාජයත් එක්ක ගලපලා සලකනවා බොහොම අඩුයි…
    වාහන පර්මිට්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන තර්ක දිහා සෝදිසියෙන් බැලුවොත් මෙය පේනවා නොවේද…?

    Reply

  8. මල්ලී,
    ඔය ගල් කේස් වැඩිය ගනන් ගන්න එපා. ඕකට නියම බෙහෙත් තියනවා. ලෙඩේ සනීප නම ප්‍රශ්නයක් නැහ. තාම තියනව නම් . මට ඊයක් එවන්න. බඩු දෙන්නම්.

    Reply

  9. බොලේ මං හිතං හිටියේ පෝස්ට් දෙකය් කියල, තුනක්නෙ යකඩො

    Reply

  10. සහතික ඇත්ත මාරයෝ….ඔය තැන් දෙක ගැන නම් මටත් පොතකට කාරණා තියනවා…
    ඔය රජයේ රෝහලට බෙහෙත් ගන්න යනව නම් අඩුම ගනනෙ ඇටෙන්ඩන්ට් කෙනෙක් වත් අල්ලගන යන්න ඕන…නැත්නම් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.

    අදාල පෞද්ගලික රෝහල හෝ වෛද්‍යවරිය ගැන …………….හොඳ මෙන්ම නරක පිළිබඳවද අත්දැකීම් ඇති බැවින් කතා නොකරමි.
    රෝහල වටේ තියන දහසකුත් එකක් ෆාමසි ගැන කියනවනම් මාර කාර්යාලය තිබුන තැන පහල තට්ටුවේ ෆාමසිය තරමක් විශ්වාස දායක තැනක්.

    Reply

  11. යම් සමාජ තත්වයකට ආවට පස්සේ ඊට පහලින් ඉන්න සියල්ලන්ටම ගෙම්බර පෙන්වීම සිය ජීවිතය කරගත් දොස්තරලා අද බොහොමයි. මාරයගෙන් බේත් ලියන්න ඉස්සෙල්ල රස්සාව එහෙම ඇහුවෙ නැද්ද? සමහරු බේත් ලියන්නේ රස්සාවට අනුව… සත 75 ට තියන බේත් පෙත්තක්, රුපියල් 100 කට තියන වෙළඳ නාමයකින් ලියල දෙන්නත් මේ අය සමහර වෙලාවට පැකිලෙන්නේ නෑ..

    Reply

  12. මමත් මේ උඩ ඉදන් කියෝගෙන ආවේ 3 වෙනි එකනේ මේ,,,අප්ප ඔය ඩොකාලා නම් කිවුවත් වගේ මේ අපේ වෙද අයියලගෙන් තමා දැන් අපිත් උපදෙස් ,බෙහෙත් ගන්න ඕනා,,,ඊයකින් උපදෙස් ගන්න පුලුවන් නේ

    Reply

  13. ඔය වගේ ප්‍රමිතියක් තියන එම්බිබීඑස් දොස්තරල නැතිවෙන වලුනේ පෞද්ගලික එක දාපුවාම , රැක ගන්න වටින ප්‍රමිතියක් බලාගෙන ගියාම නේද ???

    Reply

  14. අර ගත්ත බෙහෙත් ටිකට කීයක් ගියාද? බෙහෙත් වල ගාන අහපුවහම ගල නිකංම එලියට එන්න ඇති.
    දැන් ඔය ගලෙන් අර ඩොකාගෙ ඔලුවටම දීල දැම්මනං හරි.

    Reply

  15. මම් ඔය මුත්‍රා ගලක් දැක්කමයි.

    Reply

  16. අම්මප මේ ගල් නිසා වෙන්නෙම අපේ අතේ තියෙන කීය හරි වියදම් වෙන එකමනෙ..!!

    දුකට සැපට ගල්…:D

    Reply

  17. අප්පා ඔය ලෙඩේ හැදුනම නම් එපා වෙනවා නේද? ? අපේ අයියටත් හැදිලා අර
    මොකක්ද එකක් පිපිරිලා ඌ මැරෙන්න ගිහින් 99න් බේරුනේ.මං මහ රෑ ඇහැරලා
    බලද්දි මේ යකා එලියේ කාණුවක් ලඟ වැටිලා හිටියා බඩත් අල්ලන්.මට එදා ඇහැරුනේ
    නැත්නම්. . . බඩුම තමයි

    Reply

  18. සුවය ලැබුන එක ගැන ගොඩක් සතුටුයි සහො…
    දොස්තර වෘත්තිය ගැන මම බලපු අපූරුම කතා පෙළ තමයි House MD

    නිවාඩු පාඩු වෙලාවක බලන්නකො
    http://tubeplus.me/player/1005324/House_M.D./

    Reply

  19. මේකෙන් පේන්නෙ ඔයා ඇතුළු පොදු මහජනතාවගෙ නොදැනුවත්කම තමයි . ඔයා දන්නැති උනාට ලෙඩෙක් ට ප්‍රතිකාර කිරීමට දොස්තරලට පිළිවෙළක් තියෙනවා . රජයේ වාට්ටුවක් නම් සීමාවාසික වෛද්‍යවරයෙක් හැමවිටම තමන්ගේ ප්‍රතිකාර වලට වාට්ටුව භාර RHO , SHO , R , SR , Consultant යන අයගෙන් එක්කෙනෙක්ගෙන් හරි අනුමැතියක් ගන්න ඕනි. ලිස්ට් එකේ පහළ ය හැම තිස්සෙම ඉහළ අයගෙ මතය විමසනවා. එතකොට තමයි එකම ලෙඩා වෛද්‍යවරු ගණනාවක් අතින් විමසීමට ලක් වෙලා වැරදි වීම අවම වෙන්නෙ , ඒ නිසා සීනියර් ට පෙන්නන්න ඕනි කීම සාමාන්‍ය තත්වය , අනිත් එක මේකෙ හරය මොකද්ද ? ඔයාට ජීවිතේ කවදාවත් මුකුත් අමතක වෙලා නැද්ද ?

    Reply

  20. හැම එකාටම පොදුවේ හම්බ කරගන්න චාන්ස් එකක් තමයි මේ දොස්තරලා ඔක්කොම කරලා තියෙන්නේ. මාරයියාට කීයක් හරි අතේ තියෙනවා.

    ඒත් අතේ පිච්චිය නැති දුප්පත් මනුස්සයෙක්ටත් ඔය ලෙඩේම හැඳුණොත් ඉතින් මැරෙන්න තමා වෙන්නේ මේ විදීහට බැලුවොත්….

    හිපොක්‍රටීස් දන්නවා නම් මුලින්ම මැරෙන්න ඒ මනුස්සයා. හොඳ වෙලාවට ඒ මනුස්සයත් මැරිලා හුඟාක් කල්නේ :))

    Reply

  21. @ ඇනෝ
    මේක අමතක වීම පිළිබඳ ප්‍රශ්ණයක්ද නොසැළකිල්ල පිළිබඳ ප්‍රශ්ණයක්ද කියන එක පටලව ගන්න එපා .. අනිත් එක ඔය වගේ අත්දැකීම් මටත් ඕන තරම් තියනවා. අසරණ ලෙඩ්ඩු පෝලිමේ ඉන්නකොට ක්‍රිකට් මැච් බලන වෛද්‍යවරුත් මම දැකලා තියනවා.
    තමන්ගේ මට්ටමෙන් එහා යන රෝගයක් ඉහලට යොමු කිරීම ගැන නම් වාදයක් නැහැ. එය තමයි විය යුත්තෙත්. ඒත් මානසිකවත් කායිකවත් අසරණ වෙලා ඉන්න රෝගියාට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයා ඉතා සැළකිලිමත් රෝගියාගේ ඉතිහාසය සොයා බලන , විශේෂයෙන්ම කිසියම් ප්‍රමාණයකට ආතතිය දරාගත හැකි කෙනෙක් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

    Reply

  22. මම මේ ප්‍රශ්නෙදි වැඩිය කතා නොකර ඉන්නයි බැලුවේ ඒත් ඇනෝ නිසා කථා කරන්නම වෙනවා. මට ඉහලට ඉගෙන ගන්න උදව් කලේ ආයුර්වේද වෛද්‍යවරු නෙමේ. බටහිර වෛද්‍යවරු. කොටින්ම මගේ හාමිනේගෙ තාත්තත් බටහිර වෛද්‍ය විශේෂඥයෙක්. මගේ ගමනේදි උදව් කල සමහරු කවදාවත් මට මුණ ගැසී නැති නමුත් දෙවියන් වැනි මිනිසුන්. නමුත් එවැනි මිනිසුන් අතර කමකට් නැති වෛද්‍ය හොරුත් ඉන්නවා. කොටින්ම මට උදාහරන සිය ගනනක් වුවත් දිය හැකියි මේ මිනිසුන්ගේ නොපනත්කම් ගැන. ඔය හයරාකි එක දන්නේමොන සාමාන්‍ය මනුස්සයාද? කාටද ඕක වැදගත්? අපි ඉන්නේ මිනිස්සුන්ගේ ලෙඩට බෙහෙත් දෙන්න විතරක් නෙමෙයි. මිනිසුන් සුවපත් කරන්න. මිනිසුන් ලෙඩ වුනහම කයින් විතරක් නෙමෙයි මනසිනුත් රෝගී වෙනවා. අපි මේ හැම දේම බලන්න වෙනවා. එතනදි අපිට බැරිද මිනිසුන්ට යමක් තේරුම් කරලා දෙන්න. බෙහෙත් දහසකින් කල හැකි නොවන දේ එක කරුණාවන්ත වචනයකින් සුව වෙනවා. තව හිතන්න….

    Reply

  23. @ Lucky – මෙහෙමයි සහෝ දොස්තරලත් මනුස්සයෝ . ඒ අය අතිනුත් වැරදි වෙනවා . ඒවා අවම කරගැනීමයි වැදගත් . ඒත් මෙතන වෙලා තියෙන්නෙ වැරැද්දක් කියලා මට නම් හිතෙන්නෙ නෑ . එක්කො දොස්තරට කලින් position එකේම වෙනස් ඔය AP VIEW එක ඇර වෙන view එකකින් X ray එකක් ගන්න ඕනි උනා වෙන්නත් පුළුවන් නේ . මේ අයට ආණ්ඩුවෙන් ගෙවන සොච්චම් පඩියට අදාලව මෙයාලා කරන සේවය මිනිස්සුන්ට පේන්නෙ නෑ . මිනිස්සු බලන්නෙ අපිව විකුණගෙන කනවා කියන පටු මතයෙන් . අපේ අක්කලා අයියලා පැය 24 ම නිදිමරාගෙන රුපියල් 26 000 ආණ්ඩුවේ පඩියට බනිස් ගෙඩියක් කාලා වැඩකරනවා මං දැකලා තියෙනවා . ඒ නිසා මිනිස්සු ඒ පැත්තෙනුත් හිතන්න ඕනි එහෙම නේද ?
    @ වෙද ගෙදර මහ වෙදනා
    අදුනගන්න ලැබීමට සන්තෝසයි මහත්මයා . ඔබ හරි ! දැන් වෛද්‍ය ක්ශේත්‍රය ගොඩක් රෝගීන් ව දැනුවත් කිරීමට අවධානයක් දීලා තියෙනවා . බෙහෙත් පෙති 100 කින් කරන්න බැරි වැඩේ හරියට එක දෙයක් ලෙඩාට කියලා දීමෙන් කරන්න පුළුවන්

    Reply

  24. @ ano.
    ඔබ හරි…
    ඒත් දෙවිවරු වගේ අදහන්න පුලුවන් වෛද්‍යවරු අතරේ ඉන්න කමකට නැති, මනුස්සකමක් නැති කීප දෙනෙක් ගැනයි මම කතා කලේ. ඔය මාරය කියන වෛද්‍යවරිය ගැන මම දන්නවා. මම දන්න තරමින් ඇය ඉතා කාරුණිකව රෝගීන් සමග හොඳින් කතාබහ කරන තැනැත්තියක්. ඇය ගැන විවේචන කීපයක් මට තිබුනත් මම ඒවා සඳහන් නොකලේ සුලු වරදක් දුටු පමණින් ඔවුන්ගේ සේවය අවතක්සේරු කිරීම නුසුදුසු නිසා. මෙතනදි ඇය විශේඥ වෛද්‍යවරයෙක්ට රෝගියෙක් යොමු කිරිමෙ කිසිම වරදක් මම දකින්නෙ නැහැ.

    //ඒ අය අතිනුත් වැරදි වෙනවා . ඒවා අවම කරගැනීමයි වැදගත් //
    සහෝදරයා..ඕක ඔය කියන තරම් සරල නැහැ. ඔබ ඔය කියන වැරදි අවම කර ගන්න බැරි වුන දොස්තරලා ( හා අනිකුත් සෞඛ්‍ය සේවයට සම්භන්ධ අයවලුන් ) නිසා අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු…….. මගේ පවුලේ කෙනෙක් ඒ වෙනුවෙන් කායිකවත් මානසිකවත් ගෙවූ මිල බොහොම ඉහලයි.ඇත්තටම මෙතන ලිවිය නොහැකි පෞද්ගලික අත්දැකීමක් නිසා මට වෛද්‍යවරු සමහරක් ගැන කළකිරීමක් තියනවා. ඒ මත හිඳිමින් පොදුවෙ සමහරක් ගැන තමයි මම පෙර අදහස දැක්වුවේ…

    Reply

  25. ගල් කෑල්ල පන්න ගත්ත.. ?? ගල් කෑල්ල පනින්න එලියට එනකොට අර බඩ වගේ රිදුනෙ නැතෙයි ?? 😀

    Reply

  26. @Ano – මේක රජයේ ඉස්පිරිතාලයක් නෙවෙයි නේ.පෞද්ගලික එකක්.

    අපොයි ඔය ගල්ගැන නම් කතා කරන්න එපා.ඕකක් අපේ තාත්තාටත් වද දුන්නානෙ.

    Reply

  27. ඔය ලෙඩේ ඔපරේශන් නොකර කරනවනම් ගොඩ දාගන්න ලේසිම සිංහල බේත් වලින් කියලා තමයි මම අහලා තියෙන්නෙ. ඇත්තටම මාරෙ බොහොම ටික දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම දොස්තර මුදලාළිල තමයි ඉන්නෙ.

    අපේ පැත්තෙ එකෙක් ඉන්නවා. ඌ ලෙඩාව බැලුවත් 250 ක් ගන්නවළු. ඒත් මිනිස්සු යනවනෙ. සුපිරි වාහන 3ක් තියනවා. මේ ලගදි හයිලක්ස් එකකුත් ගත්තනෙ. ගත්තට කමක් නෑ මිනිස්සු හූරගෙන කන එක. මම නම් මූණ දිහාවත් බලන්නෙ නෑ ඕකුන්ගෙ.

    Reply

  28. ලංකාවෙ දොස්තරලා බහුතරයක් හිතාන ඉන්නේ එව්වො තමයි දෙවිගොල්ලො කියලා… ප්‍රශ්නයක් අහන්න බෑ නෙව ඔව්වොන්ගෙන්…

    Reply

  29. ඇත්තටම කිව්වොත් අයියා වෛද්‍ය වෘත්තිය කිව්වට ඒක වෘත්තියක් නෙමේ සේවයක්….ඔන්න ඕක තේරුම් ගත්ත කෙනෙක් තමා හොඳ වෛද්‍යවරයෙක් කියලා කියන්න පුළුවන්….ඒ අතින් බැලුවම ලංකාවේ බොහොම හොඳ දොස්තරවරු ඉන්නේ අතලොස්සයි…අනිත් හැම එකාම හම්බ කරගෙන කන්න බලාගෙන ඉන්නේ……

    Reply

  30. මාර අයියේ මාත් මේ ලෙඩේ හින්ද දුක් විදිනවා ගල තියෙන්නෙත් මේ තැනම අක්කාපන සම්ම්බෝලේ හරිගියේ නැහැ
    දැනට 50000කට වඩා ඉවරයි හොස්පිටල් වලට දොස්තරලා කියන්නෙම වැටෙන සයිස් එකේ ගලක් ඕක වැටිලා යයි කියලා සුමානයක් හොස්පිටල් එකේ බලන් හිටියා තව සුමානයක් ගෙදරට වෙලා බලන් හිටියා අද ගිහින් X-Ray ගත්තාම ගල හෙල්ලිලා වත් නැහැ
    මට ඊයෙ ආරංචියක් අවා ලංකාවේම මේ ලෙඩේට ප්‍රසිද්දම වෙදමහත්තයා ඉන්නේ දකුණු කළුතර කියලා වේදමහත්තයගේ නම සමරසිංහ
    වෙබ් එකේ ලෙඩේ ගැන හොයන කොටයි ඔයගේ මේ පරණ පොස්ට් එක දැක්කේ
    හෙට බෙත් අරං විස්තර කියාන්නම්

    Reply

    Replies

    1. අනිවාර්යයෙන්ම මල්ලි මොකද උනේ කියලා විස්තරේ කියන්න..මට වගේම මේ ලෙඩෙන් දුක් විදින හුග දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වේවී…

    2. පිළිතුර ටික කාලයක් පරක්කු උනේ ලෙඩේ හරියරම හොද උනාද කියලා දැන ගන්න ඕන නිසයි
      මම බේත් ගන්න ගියේ දකුණු කළුතර පරණ පාරේ ආයුර්වේද වෛද්‍ය පි.බි. සමරසේන වෛද්‍යරත්න මහතා ලගට
      එතුමා ගේ පරම්පරාවේ මුලික වෛද්‍යවරයා වන ආයුර්වේද වෛද්‍ය ඕදිරිස් පෙරේරා මහතා සොයා ගත ආස්මරි සුවය නම් බෙහෙතක් සමග තවත් බෙහෙත් ගුලි වගයක් තමයි බොන්න දෙන්නේ
      මම එතනට යනකොට මට වේදනාව දරාගන්න බැරි තරම් අමාරුවක් තිබ්බේ සමහර දවසට රොකට් 2ක් දාගන්නවා
      එතුමා ගේ බෙහෙත් අරන් දවස් දෙක යනකොට වේදනාව නැතුව ගියා
      වේදනාව වැඩි නම් බේත් බොන විදිහ වෙනම තියෙනවා
      මම මාසයක් පමණ බෙහෙත් ගත්තා සුමානයකට වැයවෙන්නේ රු 700යි
      මාස 2කට පමණ පසු ස්කන් එකක් කරලා බැලුවාම ගල දියවෙලා

      වෛද්‍යතුමාගේ විස්තර කියනාවා නම්
      ආයුර්වේද වෛද්‍ය පි.බි. සමරසේන වෛද්‍යරත්න මහතා
      98/ඒ පරණ පාර, දකුණු කළුතර
      දුරකථන අංක 0342224409
      නිවස 0342236782