RSS

Category Archives: උපාධි කඩ හා උසස් අධ්‍යාපනයේ අනාගතය.

පෞද්ගලික විශ්වවිද්‍යාල, උපාධි කඩ හා උසස් අධ්‍යාපනයේ අනාගතය.

http://sinhala-nazi.blogspot.com/2011/09/blog-post_16.html

පෞද්ගලික විශ්වවිද්‍යාල, උපාධි කඩ හා උසස් අධ්‍යාපනයේ අනාගතය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිලිබඳ විවාදය යලිත් ඇවිලී ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය මේ විවාදය යලිත් ඇවිලීමට ආසන්නතම හේතුවයි.
ඇත්තටම පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශකරයිද? විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන වලට අනුව මෙය උසස් අධ්‍යාපනයේ මලගමයි.
පෞද්ගලික වෛද්‍යවිද්‍යාල
වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් යනු රෝගීන්ගේ ජීවිත අනතුරේදැමීමකි. සල්ලි ගෙවලා ඕනෑම මෝඩයෙකුට වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවී උපාධිය ගෙන රෝගීන් මරාදැමීමේ ලයිසන් එකක් බවට මෙය පත්විය හැකි බව වෛද්‍ය සංගමයේ මතයයි.
මාගේ පෞද්ගලික මතය අනුව මෙහි යම් සත්‍යතාවයක් තිබේ. නිසි ප්‍රමිතියක් නොමැතිව, දක්ශ ගුරුවරු, විද්‍යාගාර, පුස්ථකාල, සායනික පුහුණු සඳහා සික්ශණ රෝහල් නොමැතිව ආරම්භවන මේ වෛද්‍යවිද්‍යාල මගින් අනාගතයේ දෙනු ලබන උපාධිය උපාධි කඩදාසිය තරම්වත් නොවටින්නට ඉඩ තිබේ.
එයින් අමාරුවේ වැටෙන්නේ රෝගීන් පමණක් නොවේ, රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යසංගමයේ ලියාපදිංචිය ලබාගත යුතුය. මෙය එතරම් ලෙහෙසි කරුණක් නොවන බව නැගෙනහිර යුරෝපයේ හා ඉංදියාවෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරටට පැමිණ වෛද්‍යසභාවේ විභාගය දෙතුන්වතාව අසමත්වන ශිෂ්‍යයන් දෙස බැලීමෙන් පෙනී යයි. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපාධිවලින් වැඩියෙන්ම අමාරුවේ වැටෙන්නේ එම උපාධි ලබාගත් සිසුන් හා කණකර ඉඩකඩම් උගස් කොට ලක්ශගණනින් මේ පාඨමාලා සඳහා මුදල් ගෙනවන අසරන දෙමාපියන්ය.
විදේශ උපාධිධාරීන්හට දේශීය වෛද්‍යසේවයට ඇතුළුවෙන්නට ඇති ගැටළු නොවිසඳා තවත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් අටවාගෙන වෛද්‍යවරයෙකු වන්නට සිහින මවන අසරණ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් අමාරුවේ දැමීම නොකල යුතු දෙයකි. කොතරම් උසාවි නියෝග ලැබුණත් වෛද්‍යසභාව අත්තනෝමතිකව විදෙස් වෛද්‍යෞපාධිධාරීන් වෛද්‍යසේවයට ඇතුලුවීම වැලැක්වීමට කුමණ්ත්‍රණය කරන බවට චෝදනාතිබියදී එම ගොඩට තවත් අසරණයන් පිරිසක් ඇද දැමීම මේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල නාඩගම හරහා සිදුවෙන බව මගේ හැඟීමයි.
වෛද්‍යවිද්‍යාල නොවන වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල
වෛද්‍යවිද්‍යාල නොවන වෙනත් පාඨමාලාවන් සපයන පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඇති විරෝධයනම් හුදෙක් විහිලුවක් බව මගේ හැඟීමයි.
අපේ රට ගත්විට එහි රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් බැරෑරුම් වගකීම්, රාජකාරි ඉටුකරණ වෘත්තිකයින් අතරින් ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල වලින් උපාධි දිනාගත්තවුන් සිටින්නේ කීයෙන් කීදෙනාද? අද පෞද්ගලික අංශයේ වගකිවයුතු රැකිය කරන වෘත්තිකයින්, විධායක නිළධාරීන්ගෙන් 99%ක්ම රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් නොව විවිධ පෞද්ගලික ආයතන හරහා උපාධිහා වෘත්තීමය සුදුසුකම් සපුරාගත්තවුන් වේ. මේ සියලු දෙනා සිය පෞද්ගලික මුදලින්, පෞද්ගලික ආයතනවලින් සපයන පාඨමාලා හදාරා සුදුදුසුකම් සැපුරා රැකියා ලබාගත් අයයි.
පෞද්ගලික ආයතනවලින් උගත් පලියට මොවුන් සල්ලිවලට සහතික ලබාගත්තවුන් බවට ඔවුන් හට පඩි-නඩි, යාන වාහන හා වෙනත් පහසුකම් සපයමින් රැකියා ලබාදෙන ආයතන නොසිතයි. ඔවුන්ගේ සේවාවන් මෙම ආයතන වලට අථ්‍යාවශ්‍ය අතර එසේ පෞද්ගලික ආයතන හා විශ්වවිද්‍යාල වලින් උගත් පිරිස් වැඩ බැරි මෝඩයන් බවට චෝදනාවක් කොතනකින්හෝ නැගී නොමැත.
සැබැවින්ම චෝදනාව එල්ලවී ඇත්තේ රජයේ විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් වෙතයි. දැනුමින් අඩු, ජවයෙන් හීන, තරඟකාරී රැකියාවලට අකමැති, වෙනස්වීම් වලට නොකැමති පිරිසක් ලෙස රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර අංශය විසින් හඳුනාගෙන තිබේ. මේ පිලිබඳව විවිධ සාඛච්චා හා සම්මන්ත්‍රණ වලට ලේඛකයාද සහභාගීවී ඇති බැවින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරික නායකයින් අපේ විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි දක්වන ආකල්පය ගැන හොඳ අවබෝධයක් ලේඛකයාට ඇත.
ජීවිතය හා මරණය තීරණය කරන වෛද්‍යවෘත්තිකයින් පුහුණු කිරීමේ ඒකාධිකාරිය රජය සතු විශ්වවිද්යාල වලට පමනක් තිබිය යුතු නමුත් අනෙකුත් සියලු වෘත්තීන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල වලට ඉඩ දිය යුතුය යන්න මගේ හැඟීමයි.
කවුරුන් විරුද්ධ වුනත් දැනට තත්වයද එයම නොවේද?. අප රටේ ආර්ථිකය දුවන්නේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් අතලොස්ස නිසා නොව දුක් විඳිමින් කුඩා මඩු වැනි පංතිකාමරවල දුකසේ පෞද්ගලික පාඨමාලා හදාරමින් ඉගෙන ගෙන රැකියා කරන ලක්ශ සංඛ්‍යාත දිරිය මිනිසුන්ගේ, දිරිය කාන්තාවන්ගේ කර මතින්ය. එවැනි මිනිසුන්හට තම අනාගතය තවත් දියුණු කරගැනීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් ලංකාව තුලදීම උපාධියක් ලබාගත හැකිනම් එය රටේ අනාගතයට සුබදායක වනවා මිස අවැඩක් සිදු නොකරයි.

10 comments:

buwa said…

ප්‍රමිතිය රැක ගැනීමේ ක්‍රමවේදයක් සහිතව වෛද්‍ය උපාධිය පුද්ගලිකව දුන්නට කමක් නැය කියලයි මගෙ නම් මතය .

GMOA said…

[වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් යනු රෝගීන්ගේ ජීවිත අනතුරේදැමීමකි. සල්ලි ගෙවලා ඕනෑම මෝඩයෙකුට වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවී උපාධිය ගෙන රෝගීන් මරාදැමීමේ ලයිසන් එකක් බවට මෙය පත්විය හැකි බව වෛද්‍ය සංගමයේ මතයයි]

වෛද්‍ය සංගමය එහෙම මතයක් ප්‍රකාශ කර ඇති තැන ඔබට පෙන්වන්න පුළුවන්ද?

Kandula (කණ්ඩුල) said…

GMOA said…
[වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් යනු රෝගීන්ගේ ජීවිත අනතුරේදැමීමකි. සල්ලි ගෙවලා ඕනෑම මෝඩයෙකුට වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවී උපාධිය ගෙන රෝගීන් මරාදැමීමේ ලයිසන් එකක් බවට මෙය පත්විය හැකි බව වෛද්‍ය සංගමයේ මතයයි]

වෛද්‍ය සංගමය එහෙම මතයක් ප්‍රකාශ කර ඇති තැන ඔබට පෙන්වන්න පුළුවන්ද?
=======================

එහෙම කියලා නැත්නම් කියලා තියෙන දේ හැමෝටම තේරෙන්න සිංහලෙන් කියන්නලා බයිලා ගහන්නේ නැතුව.

nalaka said…

රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවෙන වෙනත් උපාධිධාරීන් සහ වෛද්‍ය උපාධිධාරින් අතර එතරම් වෙනසක් නැත. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සියයට පණහක්වත් තමන්ගේ කාර්යය පිළිබඳ නිසි දැනුමක් නැති, මහජන මුදල් ගිලගන්නා අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන්ම පිරිසකි.

ලංකාවේ වෛද්‍ය වෘත්තිය එක්තරා ආකාරයක මාෆියාවකි. එහි මුල් තැන වෛද්‍ය සභාවයි.

පෞද්ගලික වේවා, රාජ්‍ය වේවා නිසි ආයතනයකින් විධිමත් පුහුණුවක් සහ දැනුමක් මෙන්ම වෛද්‍ය වෘත්තිකයෙකුට අත්‍යවශ්‍ය සාධකයක් වන මිනිස් හදවතක් තිබේනම් මේ රටේ මිනිසුන්ට සේවය කිරීමට ඔවුන් සූදානම්ය.

කතන්දර Kathandara said…

විසඳුම් හොයන්නේ තියෙන ප්‍රශ්ණයේ මූලික ලක්‍ෂණවලටයි, හේතු කාරකවලට නොවේ.

ඒකයි මේ සේරටම මුල!

Anonymous said…

“…සල්ලි ගෙවලා ඕනෑම මෝඩයෙකුට වෛද්‍යවිද්‍යාලයට ඇතුලුවී උපාධිය ගෙන රෝගීන් මරාදැමීමේ ලයිසන් එකක් බවට මෙය පත්විය හැකි බව වෛද්‍ය සංගමයේ මතයයි.

මාගේ පෞද්ගලික මතය අනුව මෙහි යම් සත්‍යතාවයක් තිබේ. නිසි ප්‍රමිතියක් නොමැතිව, දක්ශ ගුරුවරු, විද්‍යාගාර, පුස්ථකාල, සායනික පුහුණු සඳහා සික්ශණ රෝහල් නොමැතිව ආරම්භවන මේ වෛද්‍යවිද්‍යාල මගින් අනාගතයේ දෙනු ලබන උපාධිය උපාධි කඩදාසිය තරම්වත් නොවටින්නට ඉඩ තිබේ.

එයින් අමාරුවේ වැටෙන්නේ රෝගීන් පමණක් නොවේ, රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යසංගමයේ ලියාපදිංචිය ලබාගත යුතුය. මෙය එතරම් ලෙහෙසි කරුණක් නොවන බව නැගෙනහිර යුරෝපයේ හා ඉංදියාවෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරටට පැමිණ වෛද්‍යසභාවේ විභාගය දෙතුන්වතාව අසමත්වන ශිෂ්‍යයන් දෙස බැලීමෙන් පෙනී යයි….”

මෙසේ ප්‍රකාශ කරන්නට ඔබට ඇති සාධක කරුණු වශයෙන් දක්වනු යෙහෙකි. ඔබ දන්නවා හෝ නොදන්නවා වුවද අද ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් සැලකිය යුතු කොටසක් විදේශ උපාධිධාරීහු වෙති.

විදේශ වල, විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපය සම්බන්ධ ඔබගේ දැක්මට මම එකඟ නොවෙමි. එහි වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රය පැතිර ඇති වපසරිය හා සංසන්දනය කිරීමට තබා අලගු තබන්නටවත් ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල පද්ධතියට පැහැදිලිවම නොහැක. ජගත් මට්ටමේ මහාචාර්යවරුන් සහ ආචාර්ය මණ්ඩල සහිත එම විශ්වවිද්‍යාල හා සංසන්දනය කිරීමේදී අප රටේ එවැනි මට්ටමක පර්යේෂකයන් හෝ විද්වතුන් ඇත්තේම නැති තරම්ය.

වෛද්‍ය සභාව පවත්වන විභාගය ඉතා සාධාරණ එසේත් නැතිනම් අපක්ෂපාත (Unbiased) යයි කිසිසේත්ම කිව නොහැක. අනෙක් කරුණ නම් උසස් පෙළ විභාගය, වෛද්‍ය විද්‍යාල හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කෙතරම් හොඳ නිර්නායකයක්ද යන්න අතිශය ගැටළු කාරීය. එය සාධාරණ නිර්ණායකයක් නම් වෛද්‍ය විද්‍යාලයට යන සියලු දෙනා දිවයිනේ ඉහලම ලකුණු ලබා ගත්තවුන් විය යුතුය. එහෙත් යතාර්ථය නම් එසේ නොවන බවය. එවිට දැනුම යන සාධකය, උපන් ස්ථානය (දිස්ත්‍රික් පදනම මත) යන නිර්ණායකය යටතේ බිඳ වැටෙයි. එය සාධාරණ තෝරාගැනීමක් වන්නේ කෙලෙසද….? එලෙස වෛද්‍ය අධ්‍යාපනය ලබා පිට වන්නවුන් (දේශීය වෛද්‍ය සිසුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ තර්කය අනුව ලොව ඉතාම අපහසු සහ විශිෂ්ටතම ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් පවතින්නේ ශ්‍රී ලංකාවේ පමණකි. ලොව අනෙක් රටවල් වෛද්‍ය විද්‍යාත්මකව සිටිනුයේ කොයිද යන්න නොදැනීම මෙමෙ ස්වයං වින්දනයට ප්‍රධාන හේතුව ලෙස මම දකිමි.) සාර්ථක නම් ඔවුනගේ ඇතුලත් කිරීම් පටිපාටිය සම්බන්ධ එම තර්කය (එනම් අඩු ලකුණු ලාභීන් අසාර්ථකය යන්න) එතනම බිඳ වැටේ. ඔවුන් අසාර්ථක නම් එවැන්නන් බඳවා ගන්නා අතරතුර ඊට වඩා වැඩි සුදුසුකම් ලාභීන් ට වූ අසාධාරණයට ලබා දෙන විසඳුම කුමක්ද…? මෙලෙස අසාධාරණයට පත්ව නැගෙනහිර යුරෝපයෙන් මූලික වෛද්‍ය අධ්‍යාපනය හදාරා දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍ය වෘත්තියේ නියැලෙන මම යුරෝපීය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඉතා හොඳින් දනිමි. එම උපාධි වලට ඇමෙරිකාව තුළ ඇති පිළිගැනීම සහ දකුණු ආසියාතික වෛද්‍ය උපාධියකට ඇති පිළිගැනීම සම්බන්ධව ඇමෙරිකාවේ වෙසෙන වෛද්‍යවරුන්ගෙන් වැඩිදුර විස්තර සපයා ගනු මැනව. (එහෙත් මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විභාගය අසමත් වුවෙකුද වෙමි.එයින් අදහස් වන්නේ ලංකාවේ වෛද්‍ය වරුන්ගේ ප්‍රමිතිය ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරුන්ගේ ප්‍රමිතියට වඩා ඉහළ දැයි මම නොදනිමි.)
– Russian Con.doctor-

GMOA said…

[එහෙම කියලා නැත්නම් කියලා තියෙන දේ හැමෝටම තේරෙන්න සිංහලෙන් කියන්නලා බයිලා ගහන්නේ නැතුව. ]

ඔයා වගේ තුට්ටු දෙකේ බ්ලොග් කාරයෙක් කාරයෙක් ගානේ ස්ථාවරය කිය කියා යන්න ඕනේ නෑ. උනන්දුව තියෙනව නම් පත්තරයක් කියවල හොයා ගන්න එකයි තියෙන්නේ

Kandula (කණ්ඩුල) said…

GMOA said…
[එහෙම කියලා නැත්නම් කියලා තියෙන දේ හැමෝටම තේරෙන්න සිංහලෙන් කියන්නලා බයිලා ගහන්නේ නැතුව. ]

ඔයා වගේ තුට්ටු දෙකේ බ්ලොග් කාරයෙක් කාරයෙක් ගානේ ස්ථාවරය කිය කියා යන්න ඕනේ නෑ. උනන්දුව තියෙනව නම් පත්තරයක් කියවල හොයා ගන්න එකයි තියෙන්නේ
==========================

GMOA නම හොරට අරගෙන කොමෙන්ට් දාන (නො)වැදගත් මහත්තයෝ, මේ වගේ තුට්ටු දෙකේ බ්ලොග් කියවන්නේ නැතුව යන තැනක පලකො…….

Anonymous said…

[විදේශ වල, විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපය සම්බන්ධ ඔබගේ දැක්මට මම එකඟ නොවෙමි. එහි වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රය පැතිර ඇති වපසරිය හා සංසන්දනය කිරීමට තබා අලගු තබන්නටවත් ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල පද්ධතියට පැහැදිලිවම නොහැක. ජගත් මට්ටමේ මහාචාර්යවරුන් සහ ආචාර්ය මණ්ඩල සහිත එම විශ්වවිද්‍යාල හා සංසන්දනය කිරීමේදී අප රටේ එවැනි මට්ටමක පර්යේෂකයන් හෝ විද්වතුන් ඇත්තේම නැති තරම්ය]

ඒකද දන්නෙ නෑ ඔය වෛද්‍ය විද්‍යාල බහුතරයක අයට ඒ අදාල රටවල් වල practice කරන්න අනුමැතිය ඒ රටවල් වලින් දෙන්නෙ නැත්තෙ.

අපි නොදන්න චෙස් මෙයා!

Anonymous said…

විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනියම් ලෙසින් කියයි. මෙයද පිළිගත නොහැකි කරුණකි. ලෝක ශ්‍රේණි පටිපාටිගත කිරීම් අනුව ලංකාවේ වෛද්‍ය විද්‍යාල යුරෝපයේ , ඉන්දියාවේ , නේපාලයේ පමණක් නොව අප්‍රිකාවේ බොහෝ විශ්ව විද්‍යාල වලට වඩා පහතින් සිටිති. කොළඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් අන්තිමයා ය. . දේශීය විශ්ව විද්‍යාලවලට තේරෙන සිසුන් සියල්ලම දක්ෂ සිසුන් ලෙස වර්ගීකරණය කිරීමද නිරවද්‍ය නොවේ.

දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට විශාල ප්‍රතිශතයක් සිසුහු දේශීය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබති. දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට පුත්තලම හම්බන්තොට , මොනරාගල වැනි දිස්ත්‍රික් වලින් දේශීය වෛද්‍ය විද්‍යාල වලට ගිය සිසුන් නිසා වැඩි ලකුණු ප්‍රමාණයක් උසස් පෙලට ලබාගෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට නොහැකිවන කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික් වල සිසුන් වෙනත් විකල්ප අධ්‍යාපන ධාරාවන්ට යොමු වෙති. සමහරෙකු විදේශ රටවල විශ්ව විද්‍යාල වලට යති. දැනුම සහ පුහුණුව රඳා ඇත්තේ වැඩිපුරම පුද්ගලයා මත මිස විශ්ව විද්‍යාලය මත පමණක්ම නොවේ. විදේශ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන ඉතා දක්ෂ ලෙස සේවය කරන වෛද්‍යවරු සෞඛ්‍ සේවයේ සිටිති. කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 ක කීර්තිමත් සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ ද රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකි.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දොස්තර ලලිත් පෙරේරා ලංකා වෙබ් අඩවියට ලියු ලිපියකින් විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගැන ඇති දුර්මත සහ ඔවුන්ට සෞඛ්‍ සේවයේදී කරන ලද හතුරුකම් ගැන පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට ප්‍රියානි සොයිසා / අර්සකුලරත්න නඩුව , ප්‍රභාත් මානවසිංහ නඩුව, ග්‍රැන්විල් රොද්‍රිගු ගේ නොසැලකිලිමත් මරණය, ආදී විශාල නඩු ප්‍රමාණයක් වැටී ඇත්තේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට නොව දේශීය උපාධිධාරීන්ට බවයි. එසේම අප විසින් කල විමර්ශනයකදී වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන කාම අපරාධ වලට වැඩි වශයෙන් අසුවී ඇත්තේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ය. ( උදාහරණ ලෙස පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්න ලදී , මීගමුව රෝහලේ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී එසේම මෙම අපකීර්තිමත් ලැයිස්තුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගැබිනියක් දුෂණය කල වෛද්‍යවරයාද අඩංගු විය යුතුය. ) මෙම ප්‍රබල තර්ක හමුවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව හිතලුවක් බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරුවත වසා ගැනීමට යොදා ගන්නා ගොබෙල්ස් ක්‍රමයේ ප්‍රචාරයක් බවත් පෙනී යයි.

වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඉතා දක්ෂ ලෙස රෝගීන්ට සෙත සලසන දේශීය වෛද්‍ය උපාධිධාරීන් රාශියක් ලංකාවේ රෝහල් වල සිටිති. එසේම එවැනි අන්දමට දක්ෂතාවය පෙන්වන විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද සිටිති. අවශ්‍ය වනුයේ මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් නොව මෙම කණ්ඩායම් දෙකේ අත්දැකීම් යොදාගෙන ලංකාවේ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමය. කියුබාවේ ඉගෙනගත් වෛද්‍යවරු ලංකාවේ රාජ්‍ය රෝහල් වල සිටිති . කියුබාව සෞඛ්‍ සේවයේදී ඇමරිකාවද පරදවා තිබේ. ඩෙංගු රෝගය සාර්ථකව මැඩ පැවැත්වූ කියුබාවේ අත්දැකීම් මෙම වෛද්‍යවරු මගින් ලබා ගැනීමට ලංකාවේ සෞඛ්‍ සේවය තවම සිතලාවත් නැත. අනාගතයේද එවැනි චින්තනයක් ඔවුනට පහළවේද කියා සැකය. මෙසේ විදේශගතවී ඉගෙනුම ලැබූ සෑම වෛද්‍ය උපාධිධාරීයෙකුටම ලංකාවට අලුතින් යමක් දීමට හැකිය. ප්‍රශ්නය වන්නේ එය ලබා දීමට ඔවුනට ඉඩක් තිබේද යන්නයි.

විදේශ වෛද්‍ය උපාධිධාරීන් ට ලංකාවේ දී කරන කැනහිලිකම් නිසා බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් රටවලට යති. ඔස්ට්‍රලියාවේ , ඇමරිකාවේ, කැනඩාවේ සහ බ්‍රිතානයේ රෝහල් වල සහ විශ්ව විද්‍යාලවල විදේශ වෛද්‍ය උපාධිධාරී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සේවය කරති. මෙය එක්තරා අන්දමකට බුද්ධි ගලනයකි.