RSS

Category Archives: අපේ වෙදකම

අපේ වෙදකම

TUESDAY, JANUARY 3, 2012

විහිළුවට ලිව්වට විහිළුවක්ම නෙමේ.

ඔන්න ආයෙත් මේ අවුරුද්දෙත් වෙදගෙදරට කට්ටියටම ආරාධනා කරනවා. නව වසරෙත් හැමදාම එන්න.

හැමදේටම වඩා මානසික සහනය වටිනවා කියන එක මගේ ජීවිතයේ එක් නීතියක්. හොඳට හිනා වෙන්න ඇහැකි නම් හොදට නින්ද යනවා කියන එක මගේ ආදර්ශ පාඨය. මේ දෙකම තිබෙනම් කවදාවත් ලෙඩ වෙන්නෙ නැහැ. මේ නිසා තමයි අපේ පැරැන්නෝ “සිනාසී තරවෙනු” කියන එක පිළිගත්තේ.

මේ හැම දෙයක්ම කියන්න හෙතු වුනේ මේ වසරෙ මුලින්ම කියවන්න ලැබුනේ අපේ ටිකක් හිනා වෙන්න ලියන අභීතගේ බ්ලොග් එක නිසා. අවුරුදු ලබද්ධි ලියන එක හොදයි කියලා හිතලා ලියන්න ගත්තා. හරියටම 11.45 විතර සුභ පැතුම් පෝස්ට් එක දාගත්තා. මට හිතුනා ඒක නම් කර ගන්න බැරිවෙයිද කියලා. එදා ඒ තරම් නෙට් හෙමින් වැඩ කලේ. කොහොම හරි දැන් ඒවා ඉවරයි නොවැ.

අද මම අවුරුදෙ පටන් ගන්න යන්නේ බොහොම සරල දෙයක් ලියලා. මේක ලියන්න කලින්ම ලියන්නම් මේ ලියන්නේ බෞද්ධයෙක් වුනු මම කාගෙවත් හිත රිද්දන්නවත්, අපහාසයක් කරන්නවත් නෙමෙයි. මේ ලෝකෙ තියන යථාර්ථයත්, මිනිස්සුන්ගේ බොරුව වංචාව, ගැනත්, මොන විදියට රඟපෑවත් අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු බවත් කියන්නත් ඕනෙ කරන නිසායි. මේක මම මුහුණ දුන්නු ඇත්තම කථාවක්. 2004 විතර කාලෙ තමයි සිදු වුනේ.

මම කාලයක් ඖෂධ නිෂ්පාදනය සමඟ සම්බන්ධ වෙලා සිටියා. මේ රැකියාව රාජ්‍ය ආයතනයක කලේ. පස්සේ මම ඒ රැකියාව අතහැරලා දැම්මා. ඒ ගැන බොහෝම වටිනා කථා තියනවා. නමුත් ඒවා දේශපාලනට සම්බන්ධ නිසා කවදාවත් ලියවෙන එකක් නැහැ.

මම ඒ ආයතනයේ සිටි නිලතත්වය අනුව මා බාරයේ තමයි සියළුම ඖෂධ වට්ටෝරු එහෙම තිබුනේ. මම ඉතින් නිකන් ඉන්න වෙලාවට ඕවා කියවනවා. ඒ කියන්නේ හැම වෙලේම කරන්නේ ඒකම තමයි. දවසක් මට ලැබුනා මරු බඩුවක්.

ඔන්න කට්ටිය කලබල වුනා. එහෙම දෙයක් තමයි. අර ආච්චි පනුවන්ගෙන් අහගත්තෙ. අන්න ඒ වැඩේට තමයි. හැබැයි මේක තියනව නම් ඒ සෙල්ලම් ඕනෙ නැහැ. ඉතිං මමත් කවදා හරි ඕනෙ වෙයිනේ කියලා ලියා ගත්තා. ඔය වට්ටෝරු වැඩි හරියක් ලියා ගත්තා තමයි. ඒවා බ්ලොග් එකට වැඩක් නැහැනේ.

මම මේ ජොබ් එක දාලා ආවා කිව්වනේ, ඒ ඇවිත් තමයි මේ පොල පටන් ගත්තේ වැඩේ නැගලම ගියේ ටික කාලෙකින්. මුල් කාලේ වැඩි වැඩකුත් නැහැනේ. ඒ සැරේ මම මට අවශ්‍ය පොඩි පොඩි ඖෂධ නිපදවන්න ගත්තා. ඒකත් ටිකක් නැඟල ගියා. ඒත් ඒක මට හරියන වැඩක් නෙමෙයි. ඒකත් අත හැරියා. ඔය කාලේ මට මතක් වුනා අර මුලින් කිව් ඖෂධය. අමාරුවෙන් අමුද්‍රව්‍ය එහෙම ලෑස්ති කරන් හැදුවට මොකද කාට දෙන්නද. ඒකට හොද ඇනකොන්ඩෙක් හොයා ගන්න ඕනෙනෙ.

ඔහොම ඉන්නකොට මම දන්න කෙනෙක් ඔය ප්‍රශ්නෙ ගැනම මහා විලාපයක් මා එක්ක කිව්වා. ඔන්න බඩුව. දෙයියෝ දුන්නු චාන්ස් එක කියලා හිතලා නමෝ විත්තියෙන් දුන්න බේත. බොහොම ටික කාලයයි ගියේ, දවසක් මෑන් මට ගෙනත් දුන්න හොද කේක් එකක්.

දැන් ආයිත් ටික කාලෙකට පස්සෙ දවසක් ඔබ කවුරුත් නම කිව් සැනින් දන්න, ගුරුකම් වලට ප්‍රසිද්ධ, තාමත් සාසනේ ඉන්න, සඝනායක වගේ පෝස්ට් එකක් තියන ලොක්කෙක් මගේ පොඩි ඩිස්පැන්සරිය අහ ඇවිත් බොහෝම කුළුපඟ විදියට ආගිය තොරතුරු කථා කරනවා. ඔන්න ටිකකින් අහනවා

“අපේ මහත්තයා දන්නවද අහවලා”

මම අපෝ ඔව්. ඒ මගේ මිත්‍රයෙක්නෙ.

ආයිත් මට කියනවා පුටු කබල මට ලන්කරලා, මගේ කනට කරලා, “එයා තමයි මට මේක කිව්වේ අපේ මහත්තයා ඒ මහත්තයා මට කිව්වා. අපේ මහත්තයා ගාව දිව්‍ය ඖෂධයක් තියනවා කියලා. අනේ මහත්තයෝ මට මේ දන්න කෙනෙක්ට දෙන්න, පොඩ්ඩක් ඕකෙන් දෙන්නකො. මම මහතයාගේ ගාන ඉල්ලල දෙන්නම්.”

දැන් දැන් මට තේරෙනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේටමයි කියලා. මම මගේ ලඟ ඒ කාලෙ වැඩ කළ ගෝලයට කිව්ව බේත ගෙන්න කියලා. අපරාදෙ කියන්න බැහැ නියම ගෝලය මූ මේක ගෙනවා බොහෝම රහසිගතව ඔතලා කරලා. දැන් අරුන්නාන්සේ දාගත්තා මල්ලට ගෝලයගෙන් ගාන ඇහැව්වා. ඌකියපු ගානට මටම බය හිතුනා. ඒ උනාට අරුන්නැහැ ඇද්ද මල්ල. දුන්න සල්ලි. එහෙනම් මයේ මොකෝ.

තවත් ටික කාලෙකින්, දැන් මේ බේත ඉවරයි. ඒක හදන්න වෙන දුක දැක්කම මට ආයිත් කවදාවත් හදන්නේ නැහැ කියලා හිතුනා.

ඔන්න දවසක් එනවා අවුරුදු 70 වැඩි අර වගේම එයිට වඩා ටිකක් අඩු ලොක්කෙක්, අරයා පලාතකට ලොක්කෙක්. මෙයා එයාට වඩා පොඩි හැබැයි වයසින් වැඩියි. ආවේ බොභොම අමාරුවෙන්. ඇවිත් කෙලින්ම කථාව.

අර උන්නාන්සෙට අපේ ලොකු මහත්තයා දීල තියනවා බේතක්. ස්නායු වැඩෙන්න. මටත් අන්න ඒකෙන් දෙනවකො ළමයො.

අපේ ගොලයත් දැන මගෙන් අහන් නැතුවම වැඩ. හැබැයි මම දන්නව දැන් අර බේත ඉවරයි කියලා. තවත් හදන්නෙත් නැහැ කියලා. මම එපාද ඒ කට්ට කන්න. ඒත් කොල්ල මොනවා හරි ගනුදෙනුවක් කොලා ලොක්කත් එක්ක.

වැඩේ ඉවරවෙලා පිට පාරෙන්ම යාළුවා ගියා. මම කොල්ලගෙන් ඇහුවා,

මොනවද තෝඉ අරුන්නැහැට දුන්නේ,

අයියෝ දන්නැත්ද අර බේත නැහැනේ.

ඒ වයසෙ හැටියට හරවලා යවන්නත් බැහැනේ මම දුන්න “ගොක්ෂූර” ගුලි ටිකක්.

එතකොට සල්ලි??

සල්ලිද ඒක අරයට දුන්නට වඩා ගනන්නේ.

මේ කථාව මතක් වුනේ එක්තරා ඖෂධයක් ලංකාවේ විකිණීමෙන් රුපියල් දශ ලක්ෂ 26 විතර ආදායමක් බටහිර බෙහෙත් කොම්පැණියක් හොයලා තියනවා පසු ගිය වසරෙ. නමුත් මේකෙ හාස්‍ය ජනක දේ තමයි ඒ බෙහෙතේ තියන්නේ අර මම කිව්ව ගෝක්ෂූර. ඔන්න වැඩ. හැබැයි අපි මේවා භාවිතා කරනවා අනාදිමත් කාලයක් තිස්සේ. අපේ දේට වෙනදෙ?

කවදාවත් අපේ මිනිස්සු මේක ආයූර්වේද කිව්වොත් ගනියිද?

හැබැයි ඇමරිකාවෙන් ගෙන්නන පැලෑටියකින් හැදුව දෙයක් නම්…….

Advertisements