RSS

ඖෂධ පනත් කෙටුම්පත නැතිවීම ගැන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන පැහැදිලි කරයි

04 Dec

Maithripalaඖෂධ පනත් කෙටුම්පත නැතිවීම ගැන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන පැහැදිලි කරයි
රටේ ජනතාවට ඉතා වැදගත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර ගණනාවක් තිස්සේ  ගෙනඒමට නොහැකි වී තිබෙනවා. ඔබ එයට බොහෝ උත්සාහ ගත්තත් එය කරන්න බැරි වුණේ ඇයි…?

මම සෞඛ්‍ය ඇමැති ධුරයට පත් වෙන්නේ 2010 අප්‍රේල් මාසයේදීයි. ඒ කාලයේදීම මම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. මෙහි ප්‍රතිපත්තිය හදලා ඒ වෙන කොට අවුරුදු 40ක් වෙනවා. මීට පෙර සිටි කිසිම ආණ්ඩුවක් එහි මූලික කටයුතුවලටවත් අත තියලා තිබුණේ නැහැ. 2010 අපි පනත හදන්න පටන් ගෙන 2011 වෙන කොට එය හදලා ඉවර කළා. නමුත් එවකට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිනිය විසින් ඒ සියල්ල අස්ථානගත කරලා තිබුණා. ඊට පස්සේ ඇයද එම ආයතනයෙන් ඉවත් වෙලා තිබුණා. ඒ නිසා අපට නැවතත් මේ පනත හදන්න සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් අපි නින්දා අපහාස ගොඩක් විඳිනවා. මීට මාස හයකට පමණ කලින් අපි හදපු කෙටුම්පත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. ඇමැති මණ්ඩලය මෙය ව්‍යවස්ථා කමිටුව වෙත යොමු කරලා තියෙනවා. ඒ වගේම අප මහජන අදහස් විමසීමක්ද කරමින් සිටිනවා. කෙටුම්පතට ඇතුළත් කළ යුතු සංශෝධන මෙහිදී ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සියලු සංශෝධන අපි ව්‍යවස්ථා කමිටුවට යොමු කරලා දැන් ඒ සියලු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා.

කොහොම වුණත් දෙවන පනතත් ගෙන ඒම ප්‍රමාද වෙනවා නේද?
මේ වන විට විශේෂඥ මණ්ඩලයක් විසින් සංශෝධනත් එක් කොට සැකසූ පනත් කෙටුම්පත ව්‍යවස්ථා කමිටුව වෙත යවලා තියෙනවා. ව්‍යවස්ථා කමිටුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මෙහි තවත් පනත් කෙටුම්පත් ගණනාවක් ගොඩ ගැහිලා තිබුණත් මම එහි අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා මේ පනතේ කටයුතුවලට ප්‍රමුඛතාවයක් දෙන්න කියලා. ඒ නිසා මම හිතනවා ඉතාම ඉක්මනින් ව්‍යවස්ථා කමිටුව එයාලගේ වගකීම ඉටු කරලා නැවත ඇමැති මණ්ඩලයට එවයි කියලා. ඇමැති මණ්ඩලයේ අනුමැතියෙන් පසු අපි බලා‍පොරොත්තු වෙනවා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ මේ පනත නැති වෙන කොට අමාත්‍යාංශයේත් මේ පනත තිබුණේ නැහැ. එහෙම වුණේ කොහොමද?
අමාත්‍යාංශයෙන් ‍නෙවෙයිනේ පනත හදන්නේ. පනත් කෙටුම්පතක් හදන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන්. අපි ළඟ පනතක් නැහැ. අපි දෙන්නේ කරුණු. අපි දෙන කරුණු බලලා තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පනත හදන්නේ. අමාත්‍යාංශයකට පනතක් හදන්න කිසිම නීතිමය බලයක් නැහැ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය අහවර වුණහම එය නීතිපතිට යනවා. නීතිපති අනුමත කරලා දෙන පනත අපි කැබිනට් මණ්ඩලයට දානවා. ඉතින් එය තමයි සාමාන්‍ය ක්‍රියාපිළිවෙත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම දෙයක් අතුරුදන් වුණේ නැහැ. අපි ගාව තියෙන ලිපි ‍ලේඛනවලින් තමයි නැවත පනත හදන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම අද සිටින නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මොකද එතුමාගේ නායකත්වයෙන් යුතු කාර්ය මණ්ඩලය පනතේ කටයුතු අවසන් කළා.

රටට වැදගත් ජනතාවට හිතවත් පනතක් මෙහෙම අස්ථාන ගත වෙන්න හේතුවක් නැහැ නේද?
රටට හිතවත් වුණාට ව්‍යාපාරිකයන්ට එය අහිතවත්නේ. වංචා දුෂණ හොරකම් මැරකම් කරන අසාධාරණ විදියට හම්බ කරන රුපිය‍ලේ බෙහෙත් පෙත්තට රුපියල් සියයක් අය කරන බාල බෙහෙත් ලංකාවට ගෙනෙන වෙළෙඳ‍පොළේ බෙහෙත් හිඟයක් ඇති කරන, ඖෂධවල වටිනාකම නැති කරන ජනතාවගේ ජීවිත පරදුවට තියලා ඩොලර්වලට රුපියල්වලට ආදරය කරන මිනිස්සුන්ට රටට ආදරයක් නැ. එයාලා තමයි මේ පනත අතුරුදන් කළේ.
අපි කවුරුත් දන්නවා ලෝකයේ ජාවාරම්කාර ව්‍යාපාර දෙක තුනක් තියෙනවා. එකක් ආයුධ වෙළෙඳාම, අනෙක ඖෂධ වෙළෙදාම. ඇත්තටම ඖෂධවෙළෙඳාමත් ජාත්‍යන්තර වශයෙන් මාෆියාවක්. ඒ නිසා මෙවැනි දේකදී ඖෂධ ක්‍ෂේත්‍රයේ හොඳ ව්‍යාපාරිකයන් පිරිසක් සිටිනවා සේම අසාධාරණ අකටයුතුකම් කරන පිරිසකුත් මෙහි ඉන්නවා. ඉතින් ඒ ගොල්ලෝ තමයි මේ ව්‍යාපාරය පිටිපස්සේ ඉන්නේ.

තෙරේසා කියලා නමක් ඔබ හෙළි කළා. ඇයට මෙතරම් බලයක් ලැබුණේ කොහොමද?
එයා කවුද කියලා මුළු රටම දන්නවානේ. එයා යද්දි සේරම අරගෙනයි ගියේ. පනත් කෙටුම්පතත් අරගෙන ගියා.

ජාතික ඖෂධ පනත නැවත ගෙන එන්න කටයුතු කරන්නේ කෙසේද? නැවතත් මෙවැනි බාධා මතු වුණොත් ඊට මුහුණ දෙන්න සැලසුමක් තියෙනවද?
මෙහෙමයි ඉතින් පනතේ කටයුතු ව්‍යවස්ථා කමිටුව අවසන් කළහම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට එයාලා එවනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපය තුළ එය කරන්න පුළුවන් වෙයි කියා. නැවත කලින් වැනි සිද්ධියක් මතුවේවි කියා මම හිතන්නේ නැහැ.

රටේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට විපක්ෂය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් රජය මැදිහත් නොවන්නේ ඇයි?
කොහෙද ඖෂධ හිඟයක් තියෙන්නේ. මම නම් දන්නේ නැහැ. මේක සම්ප්‍රදායික ‍පොඩි විලාසිතාවක්. ඖෂධ හිඟය බාල ඖෂධ යන කාරණා විපක්ෂය ඔහේ කියවනවා. විපක්ෂයට පුළුවන් ඖෂධ නැති රෝහල් මොනවාද, ඒ ඖෂධ මොනවාද කියලා කිව්වොත් මට පුළුවන් ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න.
අනෙක ඖෂධ කිව්වහම දැනට භාවිතා වෙන ඖෂධ තුන්දහක් පමණ තියෙනවා. සමහර විට එයින් ඖෂධයක්, දෙකක් තුනක් හිටපු ගමන් අඩු පාඩුවක් වෙන්න පුළුවන්. අනෙක අපි රෝහල් බලධාරීන්ට අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දීලා තියෙනවා අමාත්‍යාංශය ගෙන්වන ඖෂධයක් රෝහ‍ලේ නැති නම් එවැනිඖෂධයක් වෙළඳ‍පොළෙන් අරගෙන දෙන්න කියලා රෝහල් අධ්‍යක්ෂකට ඒ සඳහා බලය දී තිබෙනවා. රෝගියෙකුට කවදාවත් ඖෂධයක් නැති වෙන්නේ නැහැ. සමහර වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නැති ඖෂධ, ඖෂධ නාමයන් බෙහෙත් වට්ටෝරුවල ලියනවා. හැබැයි ඒවා රෝහල්වල නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටින්නේ අපේ විශේෂඥ මණ්ඩලය අනුමත කරන ඖෂධ රෝහල්වලට ලබා දෙන්නයි. නමුත් වෙළඳ‍පොළට අලුතෙන් එන ඖෂධ දෙන්න අපි බැඳිලා නැහැ.

රජයේ රෝහල්වල වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොර ඖෂධ රෝගීන්ට අනුමත කරන්නේ ඇයි?
රජයේ රෝහල්වල වෛද්‍යවරුමනේ හවසට පුද්ගලික රෝහල්වල ඉන්නේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. කොහෙත් එහෙමයි ඉතින්. රජයේ රෝහල්වල වෛද්‍යවරු නැත්නම් ලංකාවේ පුද්ගලික රෝහල් වහන්න වෙනවා. ඒක නීති විරෝධී නැහැ. නමුත් එයාලා කටයුතු කිරිමේදී සදාචාරාත්මක බව තියෙන්න ඕනේ.

නැහැ මම ඇහුවේ රජයේ රෝහල්වලට එන රෝගීන්ටත් වෛද්‍යවරු ෆාමසියෙන් බෙහෙත් ලියලා දෙන්නේ ඇයි කියන කාරණයයි.?
ෆාමසියෙන් ගන්න ලියලා දෙන්නේ මම කලින් කිව්ව කාරණය නිසාම තමයි. අපි ගෙන්වන බෙහෙත් රෝහල්වල තියෙනවා. බාහිර වෙනත් වෙළෙඳ නාමයෙන් යුතු බෙහෙත් එයාලා ලියලා දෙනවා. එය අපට වළක්වන්නත් බැහැ.

පෞද්ගලික රෝහල්වල තිබෙන විශේෂඥ වෛද්‍ය සේවාව යටතේ වෛද්‍යවරයෙකු හමුවීමට ජනතාවට විශාල මුදලක් වැය කරන්න වෙනවා. මෙය පාලනය කරන්න සැලසුමක් නැතිද?
එය බරපතළ අසාධාරණයක්. සමහර අවස්ථාවල රෝගීන්ගෙන් රුපියල් 5000 කට වැඩි මුදලක් චැනල් ගාස්තු ගන්නා වෛද්‍යවරු ඉන්නවා. සමහර අය රෝගියා බලන්න විතරක් හත්දහක් අටදහක් අය කරන වෛද්‍යවරු ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙනවා පෞද්ගලික රෝහල් නියාමන සභාව කියන ආයතනය. එම සභාව යටතේ අපි මේ වන විට ඒ සම්බන්ධයෙන් ගතයුතු නීති රීති සකස් කිරීම පිළිබඳව නීති අංශයට දැනුම්වත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී බලා‍පොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය කරුණු ප්‍රකාශයට පත් කරන්න. එය ප්‍රකාශයට පත් කළ පසු ඒ අනුව වෛද්‍යවරුන්ගේ අය කිරීම සිදුවිය යුතු බව එයින් දැනුම් දෙනවා.

ඔබතුමා මෙලෙස කටයුතු කරන්නේ අගමැති වෙන්න කියා කියලාත් කියනවා. ඒක ඇත්තද..?
නැහැ. මම එදා ඉඳලම කටයුතු කළේ ජනතාවගේ පැත්තේ ඉඳලායි. මම අගමැති වෙනවාය කියන එක සමාජයේ කතාබහට ලක් වෙන එකක් විතරයි. මම කොහෙවත් කතා කරලත් නැහැ කතා කරන්නෙත් නැහැ. ඒක මගෙන් බාහිර දෙයක්. මම අඛණ්ඩව අවුරුදු 47 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්. මම පාර්ලිමේන්තුවේ අඛණ්ඩව වසර විසිපහක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. පක්ෂයේ ‍ලේකම්වරයා ලෙස මම වසර 13 ක් අඛණ්ඩව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්නේ. එතනදී මම සැමවිටම බලන්නේ මගේ වගකීම ඉටු කරන්නේ කොහොම කියන එකයි මම බලන්නේ.

ඒ කියන්නේ ඔබ අගමැතිකම ගැන හිතන්නේ නැහැ කියලාද?
මම හැමදේම සුභවාදීව හිතන කෙනෙක්. මම හැම වෙලාවෙම හිතන්නේ අදට වඩා හෙට හොඳයි කියන කාරණයයි. මම අසුභවාදී විදියට කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මගේ දේශපාලන ජීවිතය හැම වේලාවෙම ඊයෙට වඩා අද දවස මට හොඳයි. ඉතින් ඊයේට වඩා අද දවස හොඳ නිසා මම හිතනවා අදට වඩා හෙට හොඳ වෙයි කියලා.

කොහොම වුණත් ඔබත් සිටි ‍පොළොන්නරුව දිස්ත්‍රික් බල මණ්ඩලයේදී අගමැතිධුරය ඔබට ලබා දෙන ලෙසට යෝජනාවක් සම්මත කරලා නේද?
‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සන්ධානයේ රැස්වීමක් තිබුණා. ඒක ඒ වෙලාවේ එහි සිටිය අයගෙන් ආපු අදහසක්. මම ඒවාට කතාබහ කළේ නැහැ. ඒ ගැන මගෙන් විමසීමක් කළෙත් නැහැ. එතන පිටස්තර මැතිඇමැතිවරුත් හිටියා. පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සියලු දෙනාම ඒකමතිකව අදහසක් ඉදිරිපත් කළා මම එතනදී නිහඬව හිටියා.

කොහොම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු බොහෝමයක් කලකිරිලා ඉන්නා බවටයි කතා බහ සිද්ධ වෙන්නේ. මේ පක්ෂයේ මහ‍ලේකම් ලෙස ඔබට එවැනි තත්ත්වයක් දැන ගන්න ලැබිලා නැතිද?
එහෙම ඉතින් කලකිරීමක් තියෙනවා කියලා මම නම් දකින්නේ නැහැ. අපි දැන් ආණ්ඩු දෙකක් එක දිගට කරලා තියෙනවානේ. අවුරුදු 20 ක ආණ්ඩුවක් මේක. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ දශකයට පස්සේ අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දශකය ගත වෙමින් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ දශකයේදී වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. යුද්ධය අවසන් වෙලා සාමය ඇතිවීම ඓතිහාසික කාරණයක්. ඒ වගේම පුළුල් සංවර්ධනයක් වෙලා තියෙනවා. නිදහසින් පසු ලංකාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ තරම් යටිතල පහසුකම් සංවර්ධනයවීම කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ කිසි කෙනෙක් කලකිරීම් ස්වභාවයක් ඇතිකර ගත යුතුය කියලා. අපි හැම කෙනෙක්ම ප්‍රතිපත්තිමය දේශපාලනයක ඉන්න ඕනේ. ප්‍රතිපත්ති දේශපාලනයේ ඉන්න කොට කලකිරීම් එන්නේ නැහැ. ප්‍රතිපත්තිමය දේශපාලනයෙන් බැහැර අයට කලකිරීම් ඇති වෙන්න පුළුවන්.

කොහොම වුණත් විපක්ෂය කියන්නේ කලකිරුණු ආණ්ඩුවේ මැතිඇමැතිවරු 20 ක් පමණ විපක්ෂයට එන්න හදනවා කියලායි
මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. විපක්ෂය ඉතින් හැමදාම ඔය වගේ කතා කියනවානේ. හතළිහක් කියනවා විසි පහක් කියනවා විස්සක් කියනවා. ඕවා ඉතින් විපක්ෂයේ ඉන්න කාලවලදී අපිත් කියලා තියෙනවා. රටේ දේශපාලනය තුළ කතා බහට ලක්වෙන දේවල් මිසක් ඇත්ත වෙන දේවල් ‍නෙවෙයි. විපක්ෂය උපක්‍රමශීලී ලෙසත් මේ වගේ ප්‍රකාශ කරනවා. එසේ නැතිව ඒ තුළ මම විශේෂයක් දකින්නේ නැහැ. මගේ කනට නම් එවැනි කාරණා කොහෙන්වත් වැටිලා නැහැ.

ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයට ඇති සූදානම කොහොමද?
මෙහෙමයි ඉතින් ජනාධිපතිවරණයක්මද කියන එකට තවම නිල වශයෙන් ප්‍රකාශයක් නැහැ. ජාතික මැතිවරණයක් සඳහා තමයි අපේ සුදානම. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පවත්වන්නේ කුමන මැතිවරණයද කියන එක ඉදිරියේදී තමයි තීරණය වෙන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතරත් විශේෂයෙන්ම හෙළ උරුමයත් ආණ්ඩුව සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිකර ගෙන සිටිනවා. ඉතින් ඉදිරි ජාතික මැතිවරණයකදී මේ තත්ත්වය සන්ධානයේ ඡන්ද පදනමට බලනොපායි කියා හිතන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් අපේ ආණ්ඩුව දේශපාලන පක්ෂ එක්ව හැදූ සන්ධානයක්. ‍පොදු පෙරමුණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළු ඉතිහාසය පුරාම පිහිටුව තියෙන්නේ පෙරමුණු ආණ්ඩු. ඉතින් ආණ්ඩුවක් හදනකොටයි මැතිවරණයක් ලංවෙන කොටයි සන්ධාන තුළ මෙවැනි සංවාදශීලී තත්ත්වයන් ඇති වෙනවා. සන්ධාන වශයෙන් එකඟතාවය තියෙන්නේ ජාතික මට්ටමෙන් බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙනුයි. සන්ධානයක සිටින අනෙකුත් දේශපාලන පක්ෂවලට තම තමන්ගේ වූ අනන්‍යතාවයන් තිබෙනවා. ඒ තුළ හැම කෙනෙකුටම කටයුතු කිරීමේ අයිතිය තිබෙනවා. ඉතින් අද ඇතිවෙලා තියෙන තත්ත්වයත් සාමාන්‍යයෙන් මැතිවරණයක් ආසන්නයේ සිදුවෙන දෙයක්.

විධායකය අහෝසි කරන්න කියලා තමයි ජාතික හෙළ උරුමය ඇතුළු වාමාංශික පක්ෂ කියන්නේ. මෙතනදී හෙළ උරුමය ඒ ස්ථාවරයේ දැඩිව ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායකය අහෝසි කිරීම සම්බන්ධයෙන් දක්වන්නේ මොනවගේ අදහසක්ද?
ඔව් ඉතින් එක එක පක්ෂවල අදහසනේ ඒ ඉදිරිපත් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ එවැනි කාරණාවක් තවම සාකච්ඡා වෙලා නැහැ. මේ අදහස ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ සමග අපි සාකච්ඡා කරලා තියෙනවා ඉදිරියටත් සාකච්ඡා කරනවා. ඒ තුළ අපි බලනවා ගැටලුවක් ආරවුලක් නැතිව කොහොමද ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ කටයුත්ත තමයි අපි කරන්නේ.

ලසන්ත වීරකුලසූරිය ලක්බිම {jhttp://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=40755:2014-10-26-09-24-38&catid=48:2012-04-02-08-50-52&Itemid=75}

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: