RSS

ඖෂධ වෙළෙඳාම…. මාෆියාවකි…. ජාවාරමකි. අවි ආයුධ වෙළෙඳාමට වඩා ලාභදායී ආදායම් මාර්ගයකි

27 Apr

ඖෂධ සමාගම්වලින් කොමිස්‌ ගහන 
රට යන මේ නිලධාරියා කවුද?

Imageඖෂධ වෙළෙඳාම…. මාෆියාවකි…. ජාවාරමකි. අවි ආයුධ වෙළෙඳාමට වඩා ලාභදායී ආදායම් මාර්ගයකි. එනිසාම අපේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුම ඖෂධ සමාගම් සමග එක්‌ව කොමිස්‌ සහ වරදාන උදෙසා ලොබ බැඳ කටයුතු කරමින් සිටින බව නොරහසකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුත්තට සෘජුවම සම්බන්ධ අංශයක ඉහළම නිලධාරියෙක්‌ කොමිස්‌ කුට්‌ටි, විදෙස්‌ සංචාර ලබමින් ඖෂධ සමාගම් කිහිපයකට කඩේ යමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනකුගේද ආශිර්වාදය ලබමින් කටයුතු කරන මෙම නිලධාරියා වෛද්‍යවරයෙකි. අල්ලස්‌ හා දූෂණ චෝදනාවන් රැසකට පසුගිය කාලයේ චෝදනා ලද මෙම තැනැත්තා ඖෂධ සමාගමක පූර්ණ අනුග්‍රහය මත පසුගිය දිනවල ඔස්‌ටේ්‍රලියාවේ සංචාරයක නිරත වූ බවට ඖෂධවේදීන්ගේ සංගමය විසින් වගකීමෙන් යුතුව චෝදනා කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්‌තරා අංශයක අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කරන මෙම නිලධාරියාට මීට මාස ගණනාවකට පෙර වෙනත් අංශයකට ස්‌ථාන මාරුවක්‌ ලබාදී තිබුණද දූෂණ වංචා ජයටම කරගෙන යා හැකි තනතුර හැර දමා යැමට නොකැමැති නිසාම තවමත් පෙර කී අධ්‍යක්‌ෂ තනතුරේම බලහත්කාරයෙන් රැඳී සිටී. ඊට අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකුද ඔහුට සහාය ලබා දේ.

මෙම දූෂිත අධ්‍යක්‍ෂවරයා ඔස්‌ටේ්‍රලියානු සංචාරය සඳහා ගොස්‌ තිබෙන්නේ හුදෙක්‌ විනෝද වීම සඳහා බවද ඖෂධ වේදීන්ගේ සංගමය චෝදනා කර සිටී.

ඔහුට ඔස්‌ටේ්‍රලියානු සංචාරය ලබාදී ඇති ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග පනහක්‌ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේ සූදානමක්‌ද ඇත. කිසිදු බාධාවකින් තොරව පවතින නීති රෙගුලාසිවලට පටහැනි ලෙස යමින් එම ඖෂධ පහසුවෙන් මෙම අධ්‍යක්‌ෂවරයා මගින් ලියාපදිංචි කරවා ගැනීම ඔහුට ලබාදී ඇති මෙම ඔස්‌ටේ්‍රලියානු සංචාරයේ එක්‌ අරමුණක්‌ වන බවද නිසැකය.

අදාළ සමාගම විසින් නිපදවා මෙරටට ගෙන්වන අතිරේක ආහාරමය ද්‍රව්‍යයක්‌ සඳහාද මෙම අධ්‍යක්‌ෂවරයා පවත්නා නීති රීතිවලට පිටුපාමින් ශ්‍රී ලංකාවේ අලෙවිය සඳහා අනුමැතිය ලබාදී ඇතැයිද ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කර සිටී.

මෙම අධ්‍යක්‌ෂවරයාගේ පුත්‍රයාද ඔස්‌ටේ්‍රලියාවේ අධ්‍යාපනය ලබමින් සිටී. ඔහුගේ අධ්‍යයන වියදම් වෙනුවෙන්ද අදාළ ඖෂධ සමාගම ඇමරිකානු ඩොලර් 250,000 කට අධික මුදලක්‌ වැය කිරීමට එකඟ වී ඇතැයිද ඖෂධවේදීන්ගේ සංගමයේ තවත් චෝදනාවකි.

මෙම අධ්‍යක්‌ෂවරයා වෛද්‍යවරයෙකි. එහෙත් විශේෂඥ වෛද්‍යවරයෙක්‌ නොවේ. නමුත් තමන් විශේෂඥ වෛද්‍යවරයකු බව පවසමින් මෙම පුද්ගලයා වසර පහළොවකට ආසන්න කාලයක්‌ රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචා සහගත ලෙස රජයෙන් ලබාගෙන ඇතැයිද චෝදනා නැඟේ. මෙම වරදට ඔහුට ලබාදී තිබෙන්නේ කදිම දඬුවමකි. එනම් වංචා කළ මුදල මාසික වාරික වශයෙන් යළි රජයට ගෙවන ලෙසටය. මෙම දූෂිත නිලධාරියාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම රැකවරණ ලැබෙන බවට කදිම සාක්‌ෂියකි එය.

ඉන්දියාවේ පවා පරීක්‌ෂණ මට්‌ටමේ පවතින අධි සංවේදී පිළිකා එන්නතක්‌ ශ්‍රී ලංකාව තුළ එක්‌ දිනයක්‌ තුළ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේද මෙම අධ්‍යක්‍ෂවරයාය. මෙම පිළිකා එන්නත ශ්‍රී ලංකාවට සුදුසු බවට නිර්දේශයක්‌ ලබාදීම විශේෂඥ වෛද්‍යවරුන් විසින්ද ප්‍රතික්‍ෂේප කර තිබියදී එයද නොසලකමින් මෙම අධ්‍යක්‍ෂවරයා එම ඖෂධය නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ හෝ දඬුවමක්‌ මෙතෙක්‌ අමාත්‍යාංශය විසින් ලබාදී නැත.

එම ඖෂධය පමණක්‌ නොව එක්‌ දිනයක්‌ තුළ ඖෂධ වර්ග පනහක්‌ සඳහා ලියාපදිංචිය ලබාදීමට මූල් වූ නිලධාරියෙක්‌ ලෙසටද මොහු කුප්‍රකට වී තිබේ.

ඖෂධ සමාගම් කිහිපයක්‌ මෙම අධ්‍යක්‌ෂවරයා වෙනුවෙන් මුදල් වියදම් කරන බවටද ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරති. සිය සේවය ලබාගැනීමට පැමිණෙන කිසිදු ඖෂධ සමාගමකට මුදල් අය නොකර සේවා සැපයීම සිදු නොකරන මෙම අධ්‍යක්‌ෂවරයාට පෞද්ගලික ප්‍රතිකාර කිරීමද නීතියෙන් තහනම්ය. එහෙත් එම තහනමද නොතකමින් මෙම පුද්ගලයා කටුබැද්ද තෙලවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පෞද්ගලික චැනල් සේවාව කරමින් මුදල් උපයන බවද ප්‍රසිද්ධ රහසකි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙම අධ්‍යක්‌ෂවරයා සිදුකරන වංචා දූෂණ දකිමින් නොදැක්‌කා සේ සිටින්නේ ඖෂධ සමාගම් සමග ඔහු අත යටින් සිදුකරන ගනුදෙනුවේ කොටසක්‌ මෙම ඉහළ නිලධාරීන්ටද ලැබෙන නිසා යෑයි සාධාරණ සැකයක්‌ උපදින බව ඖෂධවේදීහු පවසති.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2014/04/27/feature16.html

Advertisements
 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: