RSS

Monthly Archives: November 2013

විදේශ වෛද්‍ය උපාධිධාරීන් සහ ශ්‍රී ලංකාවේ දූෂිතයි වෛද්‍ය සභාව

සුපුන් පෙරේරා

හර්ෂා රූපරත්න විසින් රාවය පුවත් පතට ලියන ලද වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ (2011 ජුනි 26 රාවය ) ලිපිය කියවීමෙන් පසුව එම ලිපියේ අන්තර්ගතය ගැන අදහස් වෛද්‍යවරුන් රැසකගෙන් විමසුවෙමි. ඔවුන්ගේ අදහස් විශාල පරාසයකට අයත් වූ හෙයින් ඔවුන්ගේ අදහස් ද මගේ විමර්ශනයන්ද කැටි කොට මෙම ගැටලුව ගැන වැඩි දුරටත් ලිවීමට මට සිදු විය. මෙම ලිපියේ සඳහන් ඇතැම් කරුණු අනාවරණය කරන ලද්දේ වෛද්‍යවරුන් විසිනි. ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවට දුන් පොරොන්දුව නිසා එම මතභේදාත්මක කරුණු මිස ඒවා ලැබුණු මුලයන් ගැන ලිවීමට නිදහස නැත. නමුත් ඕනෑම අයෙකුට මෙම ලිපියේ අඩංගු කරුණු පිබඳව සොයා බැලීමට නිදහස තිබේ.

හර්ෂා රූපරත්න විසින් හෙළි කරන පරිදි ශ්‍රී ලංකාව අනෙක් රටවල් හා සසඳද්දී ප්‍රබල වෛද්‍ය හිඟයකට මුහුණ පා සිටින රටකි. මෙරට මිනිසුන් 1820කට වෛද්‍යවරුන් සිටින්නේ එක් අයෙකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් උපාධිය හදාරා වාර්ෂිකව පිටවන 950ක පමණ වෛද්‍යවරුන් සංඛ්‍යාව ලංකාවේ සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවේ. තවද මෙම දේශීය උපාධිධාරින්ගෙන් 10%කට වැඩි පිරිසක් වාර්ෂිකව සිය අධ්‍යයනයන් හමාර කොට විදේශ ගතවේ. එම නිසා ලංකාවේ බොහෝ රෝහල් වෛද්‍යවරු නැති නිසා වැසි යාමේ තර්ජනයට මුහුණ දී තිබේ. වාර්ෂිකව 125ක් වැනි ප්‍රමාණයක් පිටරට වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබා ලංකාවට පැමිණෙති. ඔවුන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් කල වසරක් පාසා දේශීය වෛද්‍ය පාසල්වලින් ද පිටවන උපාධිධාරීන් කණ්ඩායමේ හා පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාවේ එකතුවෙන් 12%කි.හර්ෂා රූපරත්න පෙන්වා දෙන ආකාරයට මෙවන් තත්ත්වයක් පවතිද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෙනත් රටවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන්ට දක්වන අසාධාරණ සැලකිල්ල දෙස බලද්දී පෙනීයන්නේ මෙරට අසරණ රෝගීන් හිතාමතාම අපහසුතාවට පත්කිරීමේ ක්‍රමවේදයක් වක්‍රව වෛද්‍ය සභාව අතින් සිදුවන බවයි.

වැඩිදුරත් කරුණු දක්වන හර්ෂා රූපරත්න

……….පිටරට වෛද්‍ය උපාධිධාරීන් ලංකාවට පැමිණි පසු ඔවුන් සම්බන්ධ වගකීම් සියල්ලක්ම පාහේ දරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. විදේශ රටවල්වලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුදෙනාම වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට මුහුණ දී ඉන් සමත් විය යුතුය. එම විභාගය ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන විභාගය ලෙස හඳුන්වයි. විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මැසිවිලි නගන්නේ මේ විභාගය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ක්‍රියාකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවයි. ඔවුන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට හා විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට පවත්වනු ලබන එකම විභාගයකදී ඔවුන් දෙපිරිස සමත්වීම සඳහා ලබාගත යුතු ලකුණු ප්‍රමාණය එක් එක් පිරිසට වෙනස් බවයි. එනම් දේශීය උපාධිධාරීන් එම විභාගයෙන් 30%ක් ලබාගත යුතු වන විට විදෙස් උපාධිධාරීන් 50%ක් ලබාගත යුතු බවයි. මෙය අසාධාරණ සීමාවක් බව හා ලබාදෙන ප්‍රශ්න පත්‍රය වෛද්‍ය උපදේශකවරයකුටවත් පිළිතුරු ලිවීමට නොහැකි ආකාරයේ ඉතා අමාරු ප්‍රශ්න පත්‍රයක් බවයි. ඉන් 50%ක් ලබාගැනීම සිහිනයක් බවත්, එම නිසා දිගින් දිගටම එම විභාගය අසමත් වන බවත් ඔවුහු පවසති.

වෛද්‍ය සභාවේ දූෂිත භාවය පිළිබඳව ලිඛිත සාක්ෂි තිබේ. එම සාක්ෂි වලින් පෙනී යන පරිදි
1. විභාගයට මුහුණ නුදුන් උපාධිධාරීන් විභාගයෙන් සමත්යැයි වෛද්‍ය සභාව විසින් ලියුම් යවා තිබේ. 
2. එකම විභාග අංකය කිහිප දෙනකුට ලබා දුන් අවස්ථා ඇත. 
3. අපේක්ෂකයන්ට ලබාදී ඇත්තේ ප්‍රශ්න පත්‍රවල ඡායා පිටපත්ය. 
4. ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී වාචික පරීක්ෂණ සමත්යැයි නිවැරදිවීම් සිදුව ඇත. (වාචික පරීක්ෂණ සඳහා නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නොකෙරේ.) 
5. විභාගය සමත්යැයි සඳහන් ලියුමක් අපේක්ෂකයන් අතට පත් වුවද වෛද්‍ය සභාවට ගොස් බලද්දී විභාගය අසමත් ලෙස සටහන්ව ඇත. 
6. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වී සිටි උසස් පෙළ ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් රජය විසින් පිරිනමන ලද විදේශ පරීක්ෂණයකට ගොස් අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණි පසුවද ඔවුන්ට ලියාපදිංචි කිරීම පවා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ අවස්ථා ඇත. 

(වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ හර්ෂා රූපරත්න 2011 ජුනි 26 රාවය )

හර්ෂා රූපරත්නගේ පෙන්වාදීම් වලට හැර අප විසින් කරන ලද විමර්ශන වලදී පහත කරුණු අනාවරණය විය.

පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් වැඩි ආයාසයකින් තොරව මෙම ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන ACT 16 විභාගය සමත් වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එවැනි වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් වෙනම විශේෂ විභාගද පවත්වා ඔවුන්ව එතර කරවා තිබේ. මෙවැනි වරප්‍රසාදිත දරුවන් දැන් බොහෝ රෝහල් වල සේවය කරති. උදාහරනයක් ලෙස ශල්‍ය වෛද්‍ය රීශාක් බදුර්දීන් ගේ පුතා ඉගෙන ගත්තේ පකිස්ථානයේ වෛද්‍ය පාසලකය. අනෙකුත් සිසුන් විභාගය දෙතුන් වර කඹුරද්දී ඔහුගේ දරුවා එක පෑන් පාරින් සමත් කොට තිබේ.දේශපාලඥයන්ගේ දරුවන්ටද මෙම වරප්‍රසාදය හිමි විය. අමාත්‍ය ජී. එල් පිරිස්ගේ දියණිය අතිශයින්ම වාසනාවන්ත වුවාය. ඇය විදේශ අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණ මසක් යාමට පෙර ඇයව කඩිනමින් සමත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන තිබේ. 

විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනියම් ලෙසින් කියයි. මෙයද පිළිගත නොහැකි කරුණකි. ලෝක ශ්‍රේණි පටිපාටිගත කිරීම් අනුව ලංකාවේ වෛද්‍ය විද්‍යාල යුරෝපයේ , ඉන්දියාවේ , නේපාලයේ පමණක් නොව අප්‍රිකාවේ බොහෝ විශ්ව විද්‍යාල වලට වඩා පහතින් සිටිති. කොළඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් අන්තිමයා ය. . දේශීය විශ්ව විද්‍යාලවලට තේරෙන සිසුන් සියල්ලම දක්ෂ සිසුන් ලෙස වර්ගීකරණය කිරීමද නිරවද්‍ය නොවේ.

දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට විශාල ප්‍රතිශතයක් සිසුහු දේශීය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබති. දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට පුත්තලම හම්බන්තොට , මොනරාගල වැනි දිස්ත්‍රික් වලින් දේශීය වෛද්‍ය විද්‍යාල වලට ගිය සිසුන් නිසා වැඩි ලකුණු ප්‍රමාණයක් උසස් පෙලට ලබාගෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට නොහැකිවන කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික් වල සිසුන් වෙනත් විකල්ප අධ්‍යාපන ධාරාවන්ට යොමු වෙති. සමහරෙකු විදේශ රටවල විශ්ව විද්‍යාල වලට යති. දැනුම සහ පුහුණුව රඳා ඇත්තේ වැඩිපුරම පුද්ගලයා මත මිස විශ්ව විද්‍යාලය මත පමණක්ම නොවේ. විදේශ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන ඉතා දක්ෂ ලෙස සේවය කරන වෛද්‍යවරු සෞඛ්‍ සේවයේ සිටිති. කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 ක කීර්තිමත් සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ ද රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකි. 

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දොස්තර ලලිත් පෙරේරා ලංකා වෙබ් අඩවියට ලියු ලිපියකින් විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගැන ඇති දුර්මත සහ ඔවුන්ට සෞඛ්‍ සේවයේදී කරන ලද හතුරුකම් ගැන පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට ප්‍රියානි සොයිසා / අර්සකුලරත්න නඩුව , ප්‍රභාත් මානවසිංහ නඩුව, ග්‍රැන්විල් රොද්‍රිගු ගේ නොසැලකිලිමත් මරණය, ආදී විශාල නඩු ප්‍රමාණයක් වැටී ඇත්තේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට නොව දේශීය උපාධිධාරීන්ට බවයි. එසේම අප විසින් කල විමර්ශනයකදී වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන කාම අපරාධ වලට වැඩි වශයෙන් අසුවී ඇත්තේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ය. ( උදාහරණ ලෙස පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්න ලදී , මීගමුව රෝහලේ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී එසේම මෙම අපකීර්තිමත් ලැයිස්තුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගැබිනියක් දුෂණය කල වෛද්‍යවරයාද අඩංගු විය යුතුය. ) මෙම ප්‍රබල තර්ක හමුවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව හිතලුවක් බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරුවත වසා ගැනීමට යොදා ගන්නා ගොබෙල්ස් ක්‍රමයේ ප්‍රචාරයක් බවත් පෙනී යයි.

වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඉතා දක්ෂ ලෙස රෝගීන්ට සෙත සලසන දේශීය වෛද්‍ය උපාධිධාරීන් රාශියක් ලංකාවේ රෝහල් වල සිටිති. එසේම එවැනි අන්දමට දක්ෂතාවය පෙන්වන විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද සිටිති. අවශ්‍ය වනුයේ මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් නොව මෙම කණ්ඩායම් දෙකේ අත්දැකීම් යොදාගෙන ලංකාවේ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමය. කියුබාවේ ඉගෙනගත් වෛද්‍යවරු ලංකාවේ රාජ්‍ය රෝහල් වල සිටිති . කියුබාව සෞඛ්‍ සේවයේදී ඇමරිකාවද පරදවා තිබේ. ඩෙංගු රෝගය සාර්ථකව මැඩ පැවැත්වූ කියුබාවේ අත්දැකීම් මෙම වෛද්‍යවරු මගින් ලබා ගැනීමට ලංකාවේ සෞඛ්‍ සේවය තවම සිතලාවත් නැත. අනාගතයේද එවැනි චින්තනයක් ඔවුනට පහළවේද කියා සැකය. මෙසේ විදේශගතවී ඉගෙනුම ලැබූ සෑම වෛද්‍ය උපාධිධාරීයෙකුටම ලංකාවට අලුතින් යමක් දීමට හැකිය. ප්‍රශ්නය වන්නේ එය ලබා දීමට ඔවුනට ඉඩක් තිබේද යන්නයි.

විදේශ වෛද්‍ය උපාධිධාරීන් ට ලංකාවේ දී කරන කැනහිලිකම් නිසා බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් රටවලට යති. ඔස්ට්‍රලියාවේ , ඇමරිකාවේ, කැනඩාවේ සහ බ්‍රිතානයේ රෝහල් වල සහ විශ්ව විද්‍යාලවල විදේශ වෛද්‍ය උපාධිධාරී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සේවය කරති. මෙය එක්තරා අන්දමකට බුද්ධි ගලනයකි.

විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට සෞඛ්‍ සේවයට කරන ලද සේවය ඉමහත් බව නම හෙළි කිරීමට අකමැති නමුත් සාධාරණය දැකීමට සහ තවත් වෘත්තිකයෙකුගේ සේවය අගය කිරීමට කුහකබවක් නොමැති පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු අප සමග පැවසිය. ඔහු පවසන පරිදි මෙතන ඇත්තේ පන්ති ගැටුමක් මිස දැනුම සහ පුහුණුව පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ පිලිබඳ තවදුරටත් අදහස් දක්වන උක්ත මහාචාර්යවරයා පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට සහ ප්‍රබල දේශපාලඥයන්ගේ දරුවන්ට මෙම ACT16 විභාගය ගැටලුවක් නොවන බවත් මෙම දරුවන් ලංකාවට පැමිණ මාස 3-6 අතර කාලයක් ඇතුලත ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සමත් කරවා ඇති බව කියයි. තවද මෙම වරප්‍රසාදිත දරුවන්ට ප්‍රශ්නපත්‍රය කලින්ම අතටද ලැබෙන බවත් වාචික විභාග වලදී ඔවුන්ගෙන් ප්‍රශ්න විමසන්නේ මමී සහ ඩැඩිගේ සමකාලීනයන් නිසා ඔවුනට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු කියයි.

පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් ලංකාවට පැමිණි දිනයත් ඔවුන් ACT16 සමත් වී සීමාවාසික පුහුණුව පටන්ගත් දිනයත් අතර කාල පරාසය මැනීමෙන් තමා පවසන දේ පිලිබඳ යථාර්තය වටහා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දුප්පත් පහල මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන් පමණක් දිගින් දිගටම අසමත් කරවයි . ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු කොතරම් හොර ගුහාවක්ද යත් තමා දැන් බොහෝ කාලයක සිට වෛද්‍ය සභාවේ රැස්වීම්වලට පවා නොයන මෙම මෙම මහාචාර්යවරයා පවසයි.

වරප්‍රසාදිත සහ අනියම් සහන ලැබූ පන්තියට අයත් නොවූ ස්ව ශක්තියෙන් තමා දැනුම කුසලතා පෙන්වූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා සෞඛ්‍ සේවයට කරන සේවය අති විශිෂ්ට බව පවසන මෙම පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයා අවාසනාවකට මෙන් කුහක බවේ ඇලී ගැලී සිටින නිලධාරිවාදය කරපින්නාගත් දුෂිත බහුතරයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විධායක මණ්ඩලයට එය දැකීමට හෝ පිළිගැනීමට සදාචාරයක් පවා නොමැති බව පෙන්වා දෙන ලදී.

ලංකාවේ උතුරු නැගෙනහිර යුද්දය දරුණුවට ගිය සමයේ අනුරාධපුර , පොලොන්නරුව වැනි රෝහල් වලද යුද හමුදා රෝහල්වලද විදේශ වෛද්‍ය උපාධිධාරීන් දිවා රෑ නොබලා සේවය කළහ. ඔවුන්ගේ මිල කල නොහැකි කැපවීමෙන් කල සේවය මෙතරම් ඉක්මනට අමතක කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකි වුනේ වැඩවසම් මානසිකත්වයකින් සහ මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අරක් ගෙන සිටින බැවිනි. ඔවුන් රටට කිසිවක් දී නැත. තම මාෆියා කණ්ඩායමේ ළමුන් විභාගයෙන් එතර කිරීමත් ඉඩකඩම් විකුණා දරුවන් පිටරට යවා ඉගැන්වූ දුප්පත් දෙමාපියන්ගේ ළමුන් බොරු හේතු පෙන්වා පුන පුනා අසමත් කීරීමත් හැර මෙරට සෞඛ්‍ය සේවයට ඔවුන්ගෙන් කිසිවක් ඉටු වී නොමැත. මෙහි ඇති අනෙක් දරුණු විහිළුව වන්නේ 50,000 වූ හොර දොස්තරලාට නිරුපද්‍රිතව රෝගීන් බැලීමට ඉඩ සලසා දී තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට පමණක් පොලු දැමීමයි.

කිසිදු වෛද්‍ය උපාධියක් නොමැතිව එලියන්ත වයිට්ලා ප්‍රෙඩ්නිසලෝන් කල්ක අඹරා අපගේ ජාතික ක්‍රීඩකයන්ට දී ඔවුන්ට තරඟ තහනම් වලට පාර කපා දෙති. ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ලාද මෙවැනි මෙවැනි ගොඩ වෙදුන්ට උඩගෙඩි දෙති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එලියන්ත වයිට් ගැන මුනිවත රකිති.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අර්බුදයට පත්ව ඇති මොහොතක, වෛද්‍යවරු නොමැතිව ග්‍රාමීය රෝහල් වැසී යන අවස්ථාවක වැඩවසම් මානසිකත්වයකින් සහ කුමන්ත්‍රණ හා මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ සමග සෙල්ලම් කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන සෞඛ්‍ය ඇමතිවරයා මිට වඩා ගැඹුරින් සිතිය යුතුය.

උපුටා ගැනීම http://www.lankaguardian.com/2011/06/blog-post_3963.html

Read the rest of this entry »

Advertisements
 

පෙති ඇතද නැතද මරණය ස්ථිරය

පෙති ඇතද නැතද මරණය ස්ථිරය

Published 2013 අප්‍රේල් 8 |

කල් ඉකුත් වූ ඖෂධ, ප්‍රමිතියෙන් තොර ඖෂධ පමණක් නොව ඖෂධ මුවාවෙන් එන ව්‍යාජ ඖෂධ සදහා ශ්‍රි ලංකාව හොද තෝතැන්නක් බව අපි කවුරුත් දනිමු. ශ්‍රි ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය නිර්මාණය වී ඇත.

 

ශ්‍රි ලංකාව සම්බන්දව ගත් කල විදිමත් ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කර ගත් විශිෂ්ථම රාජ්‍යයක් වශයෙන් ලෝක සම්මානයට අපි පත් වනු ලබන්නේ මෙයින් දශක 4කට පෙරතුවය. ක්‍රි.ව 1970 දී, මහාචාර්ය සේනක බිබිලේ, වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ, අමාත්‍ය ටී. බී සුබසිංහ විද්වතුන් විසින් මේරටට ගැලපෙන හා ප්‍රායෝගික ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කළ අතර ක්‍රි.ව. 1977 වූ ආණ්ඩු පෙරලියත් සමග එම ප්‍රතිපත්තීන්ද විවෘත ආර්ථික රැල්ලේ ගසාගෙන යන ලදී. විවිද ඖෂධ සමාගම් විසින් වක්කඩ කැපුවා සේ මේරටට ඖෂධ ආනයනය කිරීමත් සමග වැඩි ලාභ අපේක්ෂාවන් තව තවත් බොහෝ ආයතන හා පුද්ගලයෝ ඖෂධ ආනයනයට එළඹුනහ.

 

 

ඖෂධ ව්‍යාපාරය අද වන විට ධනය ඉපයීම සහ ඉහල ලාභය සහිත ව්‍යාපාර අතුරෙන් ප්‍රථම ස්ථානය ගෙන ඇත. දෙවැන්න වන්නේ ආයුධ ව්‍යාපාරය වන අතර තෙවැන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරයයි. බොහෝ විට මෙම ව්‍යාපාර ත්‍රිත්වයටම හිමිකාරත්වය ඇත්තේ එක සමාගමක් වෙත වීමද සුලභය. කෙසේ නමුත් ඖෂධ ව්‍යාපාරය අද වන විට අතීශය තරගකාරී ව්‍යාපාරයක් වී ඇත. සාමාන්‍ය ඖෂධ පර්යේෂණ සමාගමක් නව ඔසුවක් සදහා පර්යේෂණ කොට ඔසුව නිමවා සායනික පරීක්ෂණ අවසන් කරන විට ඒ සදහා ඇමරිකන් ඩොලර් බිලියන 1ක් වියදම් කර හමාරය. යම් හෙයකින් එම ඖෂධය අසාර්ථක වුවහොත් එම මුදල කිසිදු ප්‍රතිලාභයක් නොමැති ආයෝජනයක් වීමද වලක්වා විය නොහැක්කකි. එම නිසා පර්යේෂණ සමාගමක් අලුතින් නිපදවන ලබන ඖෂධයක් වසර 10 ක කාලයක් ගෙවෙන තුරු වෙනත් සමාගමකට නිපදවිය නොහැකි වාරණ නීතියක් ස්ථාපිත වී ඇත. එසේම එම ඖෂධය එකී සමාගම වසර 10ක් පුරා කාලයක් ලොව පුරා තනි ඒකාධිකාරියක් ගොඩනගා අතීශය අධික මිලකට අලෙවි කිරීම ද කරනු ඇත.

 

මෙසේ ඖෂධ මිල අධික වීම හේතු කොට ගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන්නේය යන්න බැලූ බැල්මටම තහවරු වූ කාරණයකි. නමුත් ඉවසීමෙන්, විමසීමට ලක්කරන කල එය අර්ධ සත්‍යයක බව හෙළිවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන අන්දමට ඖෂධ මගින් රෝගීන් අපහසුවට ලක්වීම රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවන ව්‍යාසනයකි. ලෝකයේ සෑම රටකම පාහේ රෝගී ජයනා වෙනුවෙන් ඖෂධ මිල සානුකම්පිතව සලකා බලා ඇති නමුත් ඖෂධ ආනයනය කරන රාජ්‍ය සමාගම් ද, ඖෂධ සදාහා අනුමැතිය ලබා දෙන ආයතන මෙන්ම එහි අරක්ගත් නිලදාරීන්ගේ සහ බලධාරීන්ගේ ආකල්පද, අල්ලස හා දූෂණය ද, හේතු කොට ගෙන රාජ්‍ය විසින් රෝගී ජනයාට ලබාදෙන සහනයෙහි ප්‍රතිලාභ ඔවුන්ට නොලැබී ගොස් ඇත. ඇමරිකාව Novartis Foundation පෙන්වා දෙන අන්දමට ඖෂධ නොමිලේ ලබා දුන්නද ඖෂධ ක්ෂේත්‍රයේ ඉහළ නිලදාරීන්ගේ ආකල්ප හේතු කොටගෙන දිළිදු රෝගීන් බොහෝ දුෂ්කරතාවයන්ට පත් වීම සුළභය. මේ තත්ත්වය තව දුරටත් විග්‍රහ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට බිලියන 7ක් වූ ලෝක ජන ග්‍රහනයෙන් බිලියන 2 කට ආසන්න ජනතාවකට එනම් ලෝක ජනගහනයෙන් 31% කට නිසි ඖෂධ හෝ එන්නත් ලැබෙන්නේ නැති බව ද පෙන්වා දෙයි. බිලියන 2 ක් වූ රෝගී ජනගහණයෙන් බිලියන 1.6 ක් වූ ප්‍රමාණයක් දිවි ගෙවනු ලබන්නේ එක් පුද්ගල ආදායම අතීශයින් අඩු වූ දිළිදු රටවලය. සාමාන්‍ය දත්ත අනුව ලොව පුරා වසකට මිලියන් 10 ක පමණ රෝගීන් ප්‍රමාණයක් නිසි තත්ත්වයේ නොමැති ඖෂධ හෝ ව්‍යාජ ඖෂධ භාවිතය හීතුවෙන් මරණය වැළද ගනු ඇත.

 

ඖෂධ නිෂ්පාදන සරළ කටයුත්තක් නොවේ. ඇතැම් ඖෂධ නිපදවීම සදහා අමුද්‍රව්‍ය විවිධ රටවලින් ගෙන්වීමට සිදුවන අවස්ථා විරල නොවේ. ලාභයම පමණක් තක්සේරු කරන ඇතැම් සමාගම් ප්‍රමිති තත්ත්වයේ ඇති අමුද්‍රව්‍ය වෙනුවෙන් ප්‍රමිති තත්ත්වයේ නොමැති අමුද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති ඉඩකඩ සුළුපටු නොවේ. මේ බව පෙන්වා දෙන ඇමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරීය තම ආයතනය නිරතුරුවම වෙළද පලෙන් ඖෂධ මිලදී ගෙන ඒවායේ තත්ත්ව පරීක්ෂාවන් කරන බව ද තම ප්‍රතිඵල, මාධ්‍ය හා වෛද්‍යවරුන් වෙත යොමු කරන බව ද පෙන්වා දේ. එමගින් ඖෂධ සමාගම් සහ ඔවුන් ගේ ඖෂධ, මහජන මනස තුළ අසාධු වීමට(Black List) ඇති අසීමාන්තික ඉඩකද හේතු කොට ගෙන ඔවුහු නිසි තත්ත්වයේ නොමැති ඖෂධ වෙළදපල වෙත ඇතුල් කිරීමට අකැමති වෙති. නමුත් දිළිදු රටවල බලධාරීන් එවැනි ක්‍රියා මාර්ගයක් නොගන්නවා පමණක් නොව, ඖෂධ මෙහෙය වන්නන් හා ඖෂධ සමාගම් අතර ඇති ගජමිතුරු ප්‍රතිපත්තිය ද මහජනතාවට ප්‍රමිති ඖෂධ ලබා දීමේ ව්‍යායාමය අසාර්ථක කරන බව Novartis Foundation පෙන්වා දෙයි.

 

ඖෂධ තත්ත්වයෙන් බාල වන්නේ කෙසේද යන්න ඉතා සරලව පැහැදිලි කල හැකිය. අප දන්න විටමින් සී ඖෂධයේ මිලිග්‍රැම් 100 ක පෙත්තක් ගැන සිතන්න එම ඖෂධය නිසි ප්‍රමිතියේ තිබෙන්නට නම්, එහි ඇස්කොබික් අම්ලය මිලිග්‍රැම් 100 ක් ද, එය පෙත්තක් වශයෙන් එකට බැද තැබීම සදහා යොදා ගත යුතු අනුමත බන්ධන ද්‍රව්‍ය නිශ්චිත ප්‍රමාණයෙන් ද තිබිය යුතුමය. තත්ත්වයෙන් බාල විටමින් සී පෙත්තෙහි ඇස්කොබික් අම්ලය මිලිග්‍රැම් 100ට නොමැති අතර එහි බන්ධන ද්‍රව්‍ය අනුමත බන්ධන ද්‍රව්‍ය නොවේ. එවිට අඩු මාත්‍රයෙන් යුතු විටමින් සී පෙත්ත ලබා දීමෙන් එහි අඩංගු අඩු ඇස්කෝබික් අම්ල ප්‍රමාණය හෝ රෝගියට අවශෝෂණය නොවනු ඇත. නැතහොත් පෙති නියමිත ආකාරයෙන් ගබඩා කර තාබගැනීම දුෂ්කර වී එය භාවිතයට පෙර විනාශ වී යනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝකයේ සෑම රටකටම මෙම බාල ඖෂධ ඇතුල් වෙමින් පවතී. කලින් කී පරිදි දියුණු රටවල් මෙම තත්ත්වය යම් තාක් දුරට පාලනය කර තිබුණද නොදියුණු රටවල මේ තත්වය අතිශය අශෝභන ආකාරයෙන් උග්‍ර ය. තහවුරු කළ සංඛ්‍යා ලේඛන අනුව වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 400 – 500 අතර බාල හෝ ව්‍යාජ ඖෂධ ලෝකය පුරා සංසරණය වේ. මෙම ව්‍යාජ හෝ බාල ඖෂධ නිපදවීම බොහෝ විට ආසියානු රටවල සිදුවන අතර, බොහෝ විට එම රටවල බලධාරීන් ද තම රටට ලැබෙන ඩොලර් ගැන සිතමින් එම නිෂ්පාදන සදහා නිහඩ පිළිවෙතක් අනුගමනය කරති.

 

කෙසේ නමුත් අතිශය ඉහළ කීර්තිනාමයක් දරන්න වූ සමාගම් තම කීර්ති නාමය හේතුවෙන ප්‍රමිතියෙන් තොර ඖෂධ නොනිපදවන්නේ යැයි මෑතක් වන තුරු විශ්වාස කළ ද ඔවුන් නොදියුණු රටවලට අලෙවි කිරීම පිණිස ආසියානු රටවල ස්ථාපිත කර ඇති කම්හල් මගින් නිපදවන ඖෂධ පිළිබදව එවැනි විශ්වාසයක් තබාගත හැකිද යන ගැටලුව අද වන විට මතු වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම

කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම

2013 මැයි මස 12 11:34:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

අද  සමාජයේ  මිනිස්සු  යහමින්  මුදල් ඉපැයීම සඳහා විවිධ දේ  කරති. ඒ අතුරින් ආයුධ ජාවාරම, මත් ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාපාරය මුල් තැනක් ගනී. ඒ සියළු ජාවරම් අතරට  අද අලූතෙන් එක් වී ඇත්තේ ඖෂධ ජාවාරමයි. එය කොතෙක් ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇතිද යන්න සනාථ  කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුතු, නීති විරෝධීව ගෙන්වන ලද ඖෂධ තොගයක් පසුගිය බදාදා කටුනායකදී විනාශ කර දැමීමට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා නියෝග කළේය.

 

අත්අඩංගුවට ගනු ලැබූ  ඖෂධ පරික්ෂා කරන රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී සහ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් යන මහත්වරුන් ඇතුළු පිරිස

 

බැලූ බැල්මටම නොපෙනුනත් මෙය අන් සියළු ජාවාරම්වලට වඩා අති භයානකය. එබැවින් මෙය ඉතා සුළු කොට බැහැර කර හැරිය හැකි කරුණක් නොවේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ ඖෂධ නිියාමන පනත මගින් පෞද්ගලික අංශයට ආනයනය කිරීම සපුරා තහනම් කර ඇති  ඖෂධ මෙන්ම මෙරට භාවිතය සඳහා ලියාපදිංචි නොකළ  ඖෂධ වර්ග 57 ක් මේ අතර තිබීමයි.

මෙහි ඇති ඛේදජනකම තත්ත්වය වන්නේ   මෙයින්  බහුතරයක් අපේ අනාගත පරපුර විනාශ කරන අනවසර ගබ්සා මධ්‍යස්ථානවල භාවිතා කරන ගබ්සා කිරීම සහ උපත් පාලනය  සඳහා උපයෝගී කරගන්නා බාල වර්ගයේ ඖෂධ වීමයි. ඒ අතර ඩිපෝ පේ‍්‍රවේරා, රිවෝටි‍්‍රල්,  මිසෝප්‍රොස්ට්, මීපේප‍්‍රීන්, තැලිමයිඩි ආදිය ඇතුළත් වේ.

මෙහි ඇති  භයානකම සිද්ධිය වන්නේ පාසල් සිසුන් අතර පිළිලයක් සේ ව්‍යාප්ත වී ඇති මත් බෙහෙත් ලෙස භාවිතා  කරන, මානසික රෝගීන්ට ලබා දෙන විවිධ පෙති වර්ග අසූ පන්දහසක්ද ඒ අතර තිබීමය. මීට අමතරව  වකුගඩු බද්ධ කිරීමේදී දෙනු ලබන ප‍්‍රතිශක්තිකරණ ඖෂධ, හෘද රෝගීන්ට ලබා දෙන ඖෂධ  මෙන්ම පිළිකා රෝගීන්ට ලබා දෙන  ඖෂධ ද විය.

මේවායේ ඇති විෂ රසායනික තත්ත්වය පිළිබඳව නොදන්නා මහජනතාව වෙළඳ පොළෙන් මේවා මිලදී ගතහොත් ඉන් සිදුවන හානිය ඉමහත් වේ. මන්දයත් මේ ලබාගන්නා ඖෂධවල නිසි ප‍්‍රමිතිය නැති හෙයින් එහි ගුණාත්මක භාවයක්ද නැති බැවිනි. රෝගියාට සිදුවන්නේ අසනීප  තත්ත්වය සුව වීම කෙසේ වෙතත් තවත් අතුරු ආබාධයක් ඇගට පටවා ගැනීමටය.

ඖෂධ වර්ග නීත්‍යනුකූලව මෙරටට ගෙන්වන්නේ නම් ඒවාට නිසි උෂ්ණත්වය හා ප‍්‍රමිතිය අවශ්‍ය වන අතර බොහෝ විට සමහර මගීහු අනවසර ආකාරයෙන් ගමන් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා හෝ ශරීරයේ සඟවා ගෙන එනු ලබති.

අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ප‍්‍රවාහනය හා ගබඩා කළ යුතු එවැනි ඖෂධ මෙලෙස  වැරදි ලෙස ගෙන ඒම නිසා අවසානයේ එම ඖෂධවල ක‍්‍රියාකාරිත්වය බරපතල ලෙස දුර්වල වන බව සඳහන් කළ යුතුමය.

වකුගඩු බද්ධ කිරීමේදී ශල්‍යාගාරවල හා දැඩි සත්කාර ඒකක තුළදී පමණක් භාවිතා කරන ඉතා මිල අධික ඖෂධ  කුප්පි තොගයක්ද මෙහි  විය.   මින් එක්  කුප්පියක මිල  රුපියල් එක්ලක්ෂ පනස් දහසක්  පමණ වෙයි.

 

මෙම ඖෂධ ශල්‍යාගාරවල භාවිතා කරන බැවින්  සුවිශේෂී තත්ත්වයන් යටතේ ප‍්‍රවාහනය හා ගබඩා කිරීම කළ යුතු අතර මෙලෙස  ගමන් මළු තුළ බහා රහසේ ගෙන ඒමේදී එහි ප‍්‍රමිතිය ගැන විශ්වාසයක් තිබිය හැකිද යන්න ගැනද අවධානය යොමු කළ යුතු කාරණාවකි.

අනිත් කාරණාව වන්නේ  මේවා  නීත්‍යානුකූලව ආනයනය කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පිළිබඳ අධිකාරියේ බලපත‍්‍රය සහිතව ලියාපදිංචි වූ ව්‍යාපාරිකයින්ට නිසි ආනයන බලපත‍්‍රයකින් පමණක් ආනයනය කළ යුතු වේ.  ගුවන් තොටුපොළේදී අල්ලා ගන්නා ලද මෙම නීති විරෝධී ඖෂධ සඳහා නිසි බලපත‍්‍රයක් නැතුවා මෙන්ම, නිසි ප‍්‍රමිතියක් ද නැත.

බොහෝ අවස්ථාවල මෙම ඖෂධ රැගෙන විත් තිබුණේ ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙනි. මේවා රැගෙන ඒමට උත්සාහ කොට අත්අඩංගුවට පත් වූවන් අතර ශ‍්‍රී ලාංකිකයෝ මෙන්ම පාකිස්ථාන ජාතිකයෝ සහ ඉන්දියානුවෝද වෙති.  පිරිමින් සේම ගැහැණුන්ද මේ අතර වෙති.

රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ මහඟු වගකීම රජය සතු වේ.  ශ‍්‍රී ලංකාව තුළ රජයේ රෝහල්වල හා පෞද්ගලික අංශයේ භාවිතයට අවශ්‍ය ඖෂධ ආනයනය  කිරීම, නියාමනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් සහ නීති පද්ධතියක් ඇත. ඒ අනුව රජයේ රෝහල්වල  භාවිතයට අවශ්‍ය ඖෂධ රජයේ ඖෂධ සංස්ථාව මගින් ආනයනය කෙරෙන අතර පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මගින් අවසර ලබා දී ඇති ඖෂධ සමාගම් ගණනාවක් ඇත.

ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව රට තුළට ඖෂධ ආනයනය කිරීමට, ප‍්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට හෝ විකිණීමට කිසිවෙකුට නොහැකි අතර එසේ කිරීම 1980 අංක 27 දරණ විලවුන්, උපකරණ හා ඖෂධ අධිකාරි පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

 

 

නීතිමය තත්ත්වය එසේ වුවද  දිනපතා අනවසරයෙන් මෙලෙස ඖෂධ මෙරටට ගෙන ඒම මහා  පරිමාණයෙන් සිදුවන බව වාර්ථා වෙයි. ඒ අනුව පෙනී යන්නේ අනවසරයෙන් ඖෂධ මෙරටට ගෙන ඒමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පුරා මෙරට ක‍්‍රියාත්මක වන  බවය.

රේගු නිලධාරීන්ගේ කැපවීම මත යම් ප‍්‍රමාණයක් මෙලෙස අල්ලා ගත්තද මුහුදු මාර්ග වලින් වන ප‍්‍රවාහනය පිළිබඳව ද බලධාරීන් අවධානය යොමු කළ යුතුය.
එමෙන්ම මෙම සියළු ඖෂධ වර්ග මෙරට වෙළෙඳපොළේ සිතූ පැතූ මිල ගණන් යටතේ විවිධ ක‍්‍රම වලින් අළෙවි කිරීමට හැකියාව ඇත. මෙහිදී මෙම කූට ව්‍යාපාරිකයින්  යහමින් මුදල් ඉපැයිය හැකි එවැනි ඖෂධ වර්ග පමණක්  තෝරා බේරාගෙන මෙරටට ගෙන ඒමට තරම් සූක්ෂම වී ඇත.

එමෙන්ම  දිනපතා විවිධ ක‍්‍රම අනුගමනය කරමින්  ගමන් මලූ තුළ බහා  හෝ ශරීරයේ සගවාගෙන හෝ මහා පරිමාණයෙන් රට තුළට ගලා ඒම  අතිශයින්  ඛේදජනක කරුණකි.

මෙලෙස ගෙන එනු ලබන ඖෂධ විවිධ ක‍්‍රම  ඔස්සේ මෙරට වෙළෙඳපොළට යාමද අතිශයින් භයානක කරුණකි.  මෙය ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවල ව්‍යාප්තව ඇති ආකාරය පිළිබඳව සොයාබැලීමේදී අපට දැනගත හැකි වූයේ කොළඔ දිස්ත‍්‍රික්කයේ මහරගම, නුගේගොඩ, මරදාන, බොරැල්ල, ග‍්‍රෑන්ඞ්පාස්, පානදුර යන ප‍්‍රදේශවලද ගම්පහ දිස්ත‍්‍රික්කයේ  කඩවත, ගම්පහ, නිට්ටඹුව, ජාඇල, වත්තල, මීගමුව වැනි ප‍්‍රදේශවලද හොර රහසේ පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථානවල අවශ්‍යතාවයන් පිරිමසාලීමටද මෙලෙස අනවසරයෙන් ගෙන්වන ගබ්සා පෙති සැපයෙන බවයි.

මීට අමතරව නගරබද ෆාමසි කිහිපයක ද මේවා රුපියල් දසදහසේ සිට රුපියල් තිස්පන්දහස දක්වා අධික මිල ගණන් යටතේ විකිණීමට ඇති බවත් අනාවරණය විය.

මේ සඳහා තැරැව්කරුවෝද පත් කර සිටිති.  ගම්පහ ප‍්‍රදේශයේ ඉතාමත් රහසිගත ලෙස පවත්වාගෙන යන එක්තරා  ගබ්සා මධ්‍යස්ථාන කරා කාන්තාවන් රැගෙන යාමට ප‍්‍රවාහන සේවයක් ද ගම්පහ ප‍්‍රදේශය අවට ක‍්‍රියාත්මක වන බව අපට  දැනගත හැකි විය.

 

උපත් පාලන එන්නත් කුප්පි

 

සිරිංජර තොගයක්

 

 

මේ සඳහා පළපුරුදු තැරැව්කරුවෝද සිටිති. ගබ්සා මධ්‍යස්ථාන සොයා එන පිරිස් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නා මෙම තැරැව්කරුවෝ අදාළ කාන්තාව පමණක්  වෑන් රථයකට නංවාගෙන රහසි ගත ස්ථානයට රැගෙන ගොස් ගබ්සාව සිදුකර නැවත බාරකරුවන්ට බාර දෙන සේවාවක් ජාඇල සහ ගම්පහ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන බවද දැනගන්නට හැකි විය.

තමන් විවාහවීමට සිටි පෙම්වතා නිසා ගැබ්ගත් එක්තරා රූමත්  තරුණියක් තම පෙම්වතා ද සමග ජාඇල ප‍්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් සොයා ගොස් ඇති අතර එහිදී හමු වූ තැරුව්කරුවෙකුගේ මාර්ගයෙන් මෙම වෛද්‍යවරයා මුණගැසී ඇත.

එහිදී පෙම්වතා සමග කතාකොට ගබ්සාව සිදුකිරීමෙන් අනතුරුව එම ස්ථානයටම ආපසු ගෙනවිත් බස්වන බව පවසා  පෙර කී තරුණිය පමණක්  වාහනයට නංවාගෙන ගම්පහ ප‍්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණ ගබ්සාව සිදුකිරීමට පෙර ඇයව දුෂණය කර ඇත. පසුව ගබ්සාවද සිදුකර  ආපසු ජා ඇලට  ගෙනත් ඇරලවීමද සිදුකර ඇත.

තැරුව්කරුවන් යොදා ලබාගන්නා ගබ්සාවට පත්කරන තැනැත්තිය පමණක් වෑන් රථයකට නංවාගන්නා මෙම වෛද්‍යවරයා එම වෑන් රථය විවිධ මාර්ග ඔස්සේ වට රවුම් කිහිපයක්  කරකවා  රහසිගත ස්ථානයකදී ගබ්සාව සිදුකර එම රථයෙන්ම ආපසු ගෙනත් බස්වන බවද හෙළිවිය.  මෙලෙස වටරවුම් ගසන්නේ ස්ථානය සොයාගැනීමට නොහැකි වන ලෙසිනි.

බොහෝ කාන්තාවන් මෙම වෛද්‍යවරයා අතින් දුෂණයට ලක්ව  ඇතත් මෙරට පවතින නීතිමය තත්ත්වය අනුව ඔවුන්ට ඇති ලජ්ජාව සහ පොලිසියට ඇති බිය නිසා මේවා හෙළි නොකරන බවද වාර්ථා විය.

යක්කල සහ නිට්ටඹුව අතර ඇති තවත් ගබ්සා මධ්‍යාස්ථානයක් ක‍්‍රියාත්මක වන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙසිනි.  ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන මෙම ගබ්සා මධ්‍යස්ථානය වෙත දිනපතා ගබ්සාවන් සිදුකරගැනීමට  විශාල පිරිස්  පැමිණෙති. මෙහි සාමාන්‍ය මුදලකට පහසුවෙන් එය කරගත හැකි නිසා ඉතා හොඳ ඉල්ලූමක්  පවතින බවද වාර්ථා විය.

අනිත් භයානකම කාරණය වන්නේ බොහෝ පාසල්  වයසේ පසුවන තරුණයින්ට මත්වීමට ගන්නා පෙති  සැපයීම සඳහා ද තැරැව්කරුවෝ සිටිති. ගනේමුල්ල, ගම්පහ, මීරිගම ප‍්‍රදේශවල මෙම බෙහෙත් පෙත්ත පාසල් දරුවන් අතර බොහෝ ජනප‍්‍රියව ඇත.

පාසල් දරුවන් මෙන්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණයෝ මෙන්ම කැරෝකේ සමාජ ශාලාවල තරුණ තරුණියෝ ද මෙම බෙහෙත් පෙතිවලට ඇබ්බැහි වී ඇති බව වාර්ථා විය.

මෙම පෙති නිල්ල සොයා, පිස්සු පෙති, ටැබා පෙති වැනි විවිධ නම් වලින් සමාජයේ තරුණයන් අතර ජනප‍්‍රියව ඇත. මෙම පෙත්තක් රුපියල් සියයේ සිට රුපියල් පන්සීය දක්වා වූ මිල ගණන්  යටතේ ගම්පහ අවට අළෙවි වන බවද දැනගන්නට හැකි විය.

මේවා තරුණයන් අතරට පත්කරන  වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නෝද, ඔසු සැල්වල සේවය කරන  පුද්ගලයින්ද, ඔසු සැල්ද තැරැුව්කරුවෝද සිටින බව අනාවරණය වී ඇත.

 

 

සමහරුන් මෙම පෙති හෙරොයින්වලට ආදේශකයක් වශයෙන්ද භාවිතා කරති. මෙම ප‍්‍රදේශවල ඉතා හොඳ වෙළෙඳපොළක් සකසා ඇති අයුරුද මේවා භාවිතා කරන තරුණ පිරිස්ගෙන්ම දැනගන්නට හැකි විය.

ප‍්‍රසිද්ධියට පත් නොවුනත් මේවා ඇබ්බැහිවීම නිසා විවිධ අතුරු ආබාධ වලින් දුක්විඳින තරුණයන්  විශාල ප‍්‍රමාණයක් ද හදිසි අනතුරුවලින් මිය ගිය තරුණයන් ප‍්‍රමාණයක් ද සිටින බව සත්‍යකි.

රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ මහගු වගකීම රජය සතුවේ. එය රේගුවට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවේ. මෙම ඖෂධ විනාශ කිරීමට පෙර කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සහ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් යන මහත්වරුන් පැවසුවේද මහා පරිමාණ ඖෂධ මාෆියාවක් ශ‍්‍රී ලංකාව තුළ සීග‍්‍රයෙන් වර්ධනය වන බවක්  පෙනී යන බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් වහාම තීරණ ගත යුතුය. එතෙක් රෝගීන්ට සිදුවන්නේ  පුරාණ කාලයේ මෙන් දේශීය ඖෂධයක් තම්බා බී හෝ තම ලෙඩ රෝග සුවකර ගැනීමය. ප‍්‍රමිතියෙන් තොර මෙවැනි බටහිර  ඖෂධ භාවිතා කර තම රෝගය තවත් උත්සන්න කරගන්නවාට වඩා දේශීය ඖෂධයක් ලබාගැනීම මීට වඩා  සුදුසු බැවිණි.

එබැවින්  මත්කුඩු තරමටම  හිස ඔසවමින් පවතින මෙම ඖෂධ මාෆියාව  නතර කර දැමීමට දැන් කාලය එළැඹ ඇත.   එසේ නොවුනහොත් අනාගතයේ අපට ඉතිරිවන්නේ රෝගී වූ මන්ද බුද්ධික වූ පරම්පරාවක් පමණි.

 

 

සටහන හා ඡායාරූප – ගුවන්තොටුපොළ දීපා අදිකාරි

 

සෞඛ්‍යසම්පන්න ජනතාවක්‌ බිහි කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශවල සැබෑ කාර්යභාරය

සෞඛ්‍යසම්පන්න ජනතාවක්‌ බිහි කිරීම උදෙසා
රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශවල සැබෑ කාර්යභාරය

සවස 4-5 වන විට චැනල් සෙන්ටර් එකක්‌ අසල රැස්‌ කමින් සිටින ජන සේනාව දෙස බලන්න. නැතිනම් ඈත ගම් දනව්වක දොස්‌තර මහතා ගේ පෞද්ගලික ඩිස්‌පෙන්සරිය අසල සිටින පිරිවර දෙස බලන්න. දරු ප්‍රසූතියේ පටන්, ප්‍රතිශක්‌තීකරණ එන්නත් ලබා දීම, තුවාලයකට මැහුමක්‌ දමාගැනීමේ සිට බරපතළ ශල්‍යකර්මයක්‌ කරවාගැනීම දක්‌වා මෙකී නො කී ඕනෑ ම කාරණයකට පෞද්ගලික අංශයේ සරණ පතා යන ජන ගංගාව දෙස බලන්න. එමෙන් ම විවිධ පරීක්‍ෂාවන් කරවා ගැනීමට, අනෙකුත් වෛද්‍ය සේවා ලබාගැනීමට ද පෞද්ගලික අංශය වෙත විශාල පිරිසක්‌ ඇදී යති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද වන විට බාහිර රෝගී ප්‍රතිකාර (Out patients) වලින් 35%ක්‌ සිදු වන්නේ පෞද්ගලික ක්‌ෂේත්‍රය මගිනි. නේවාසික රෝගීන් අතුරින් නම් පෞද්ගලික රෝහල්වල දායකත්වය 10-15%ක්‌ පමණක්‌ වුව ද එය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවත්නා බව නම් පැහැදිලි ය.

නූතන ශ්‍රී ලංකාව තුළ ඇති වෙමින් යන සමාජ ආර්ථික විපර්යාසයන්, සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාවගේ ආකල්පවල ඇති වූ වෙනස්‌කම්, පෞද්ගලික අංශයේ උන්නතිය වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් ලැබෙන උත්තේජයන් මෙන්ම සෞඛ්‍ය රක්‍ෂණාවරණ ව්‍යාප්ත වීම ආදී සාධක පොදුවේ මේ තත්ත්වයට බලපා ඇත.

ඉදින්, අපේ අහිංසක රෝගීන්ට තමන් ගෙවන මිලට සරිලන ප්‍රශස්‌ත මට්‌ටමේ සේවාවක්‌ පෞද්ගලික අංශය වෙතින් ලැබේ ද? ලෝක පූජිත සෞඛ්‍ය පද්ධතියක්‌ හිමි අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවාවට මේ චැනල් සෙන්ටර් හා ඩිස්‌පෙන්සරිවලින් එල්ලවන බලපෑම කවරේ ද? පෞද්ගලික සෞඛ්‍ය අංශය රටට වැඩදායී ලෙස යොදවාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තවත් කතිකාවතකට මෙය සුදුසු ම කාලයයි.

පෞද්ගලික අංශය රාජ්‍ය සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට එල්ල කරන බලපෑම

සුබසාධක රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුත්තේ මහජන මෙහෙවරක්‌ ලෙසිනි. යම් යම් අඩුපාඩුකම් තිබිය ද පක්‍ෂ, පාට නො බලා නිදහසින් පසු පත් වූ සැම රජයක්‌ ම රටවැසියන් ගේ සුබසිද්ධිය වෙනුවෙන් සෞඛ්‍යය උදෙසා කළ කැප කිරීම් පැසසිය යුතු ය.

2009 වසර තුළ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.0%ක්‌ සෞඛ්‍යය උදෙසා වෙන් විය. එය 2000 වසරට සාපේක්‍ෂව (3.7%) 0.3%කින් ඉහළ යැමක්‌ පෙන්නුම් කළ ද ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙය පහළ අගයකි. 2009 දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ සමස්‌ත සෞඛ්‍ය වියදමෙන් 45.2%ක්‌ රජය විසින් දරනු ලබයි. පෞද්ගලික අංශයේ සේවා වෙනුවෙන් 54.8%ක්‌ වියදම් වේ. (2000 වසරේ දී රාජ්‍ය අංශය 46.0% හා පෞද්ගලික අංශය 54.0%ක්‌ විය) මේ 54.8%ට රෝගියා කෙළින් ම මුදල් ගෙවා ලබා ගන්නා සේවා හා රක්‌ෂණය හරහා ලබා ගන්නා සේවා ඇතුළත් ය. මෙහි දී ලෝක තත්ත්වය හා සසඳන කල මෙරට රෝගියකු පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා සෘජුව දරන වියදම ඉහළ බව පෙනේ. අනෙක්‌ අතට රක්‌ෂණ ආවරණයකින් අදාළ වියදම් පිරිමසා ගැනීම ලෝක තත්ත්වයට වඩා අප රටෙහි අඩු අගයකි. (ප්‍රස්‌තාර බලන්න) (මූලාශ්‍ර – ලෝක සෞඛ්‍ය සංවිධානය හා Institute
ot National Health Policy – National
Health Accounts)

තව ද ලංකාවේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව අඛණ්‌ඩව පැවතිය යුතු ය (අනෙකුත් බොහෝ පොදු සේවා පෞද්ගලීකරණයට ලක්‌ කළ ද) යන ප්‍රතිපත්තියේ හිඳීම ද අගය කළ යුතු ය. සෞඛ්‍යය උදෙසා විය පැහැදම් කිරීම යනු රජයකට ලාභදායි ආයෝජනයක්‌ ද වේ. නිරෝගී මානව සම්පත රටක සංවර්ධනය උදෙසා අනිවාර්ය වන අංගයකි. රටේ ශ්‍රම බලකාය කායික හා මානසික වශයෙන් හොඳ මට්‌ටමක පවත්වා ගැනීම අවශ්‍ය ය.

රජයක්‌ සෞඛ්‍යය දෙස ඒ අයුරින් බැලුව ද බොහෝ විට පෞද්ගලික අංශයට සෞඛ්‍යය යනු ව්‍යාපාරයකි. ව්‍යාපාරයක ස්‌වභාවය අඩු පිරිවැයකින් වැඩි ලාභ උපයාගැනීම ය. එනයින් බැලු කල රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහි මූලික අරමුණු එකිනෙකට පරස්‌පර ය. ලාභය ඉහළ ම ප්‍රමුඛතාව කොටගත් කල ප්‍රමිතීන් හා ගුණාත්මක බව සම්බන්ධයෙන් ලැබෙන ස්‌ථානය කවරක්‌ වේ ද? එහෙත් මුදල් වියදම් කර පෞද්ගලික අංශය වෙත යැම මඟින් ජනතාව අපේක්‍ෂා කරන්නේ තමන්ට රජයේ රෝහල තුළ දී ලැබෙනවාට වඩා ඉහළ මට්‌ටමේ සත්කාරයකි. පෞද්ගලික සෞඛ්‍ය සේවය නඟා සිටුවිය යුතු ය යන ප්‍රතිපත්තියේ රජය හිඳින බැවින් එහි අරුත විය යුත්තේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවට ඵලදායි ආධාරකයක්‌ වනු පිණිස එය සංවර්ධනය කරනු විනා ඊට විකල්පයක්‌ ලෙස පෞද්ගලික අංශය නඟා සිටුවීම නො වේ. පෞද්ගලික සෞඛ්‍ය සේවාව දියුණු විය යුත්තේ අසරණ ජනතාව වෙනුවෙන් කැප වූ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ සම්පත් ගිල ගනිමින් නො වේ. සරලව ම කියන්නේ නම් මේ සෞඛ්‍ය සේවා අතර පැවතිය යුත්තේ පරපෝෂී සබඳතාවක්‌ නො ව සහජීවී සබඳතාවකි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනයන්ට අනුව පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීමට වියදම් කිරීම නිසා වසරකට මිලියන 100ක පමණ ජනතාවක්‌ දිළිඳු බවට පත් වෙති. නිදහස්‌ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන රටවල් වුව ද සේවා සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යැමත් සමග ඊට සරිලන සැපයුමක්‌ ලබා දීමට නොහැකි ව ළතැවෙමින් සිටියි. මන්ද යත් සම්පත් සීමිත වන හෙයිනි. වැඩිහිටි ජනගහණය ඉහළ යැම හා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ ආදී දීර්ඝ කාලීන රෝග (Non Cmmunicable Diseases) බහුල වීම නිසා සෞඛ්‍ය සේවය මත පැටවෙන බර අධික වෙමින් යයි. 2010 ලෝක සෞඛ්‍ය වාර්තාවට අනුව ලොව පුරා සෞඛ්‍යය සඳහා වැය වන මුදලින් 30% ක්‌ පමණ අපතේ යයි. දුර්වල කළමනාකරණය මීට බලපාන ප්‍රධාන හේතුව වේ. එහෙයින් රාජ්‍ය අංශය සෞඛ්‍යය සඳහා මුදල් යෙදවීමේ දී සමානාත්මතාව රැකෙන අයුරින් ((equtiy) හා කාර්යක්‍ෂම ලෙස (efficiently) කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

පෞද්ගලික සෞඛ්‍ය අංශය රාජ්‍ය සේවයට එල්ල කරන බලපෑම විමසීමේ දී පළමුවෙන් ජනතාව ඒ වෙත ඇදී යැමට බලපාන සාධක හඳුනාගත යුතු ය. එය ප්‍රධාන වශයෙන් තල්ලු කරන සාධක (Push factors) හා ඇදගන්නා සාධක (Pull factors) යනුවෙන් වර්ග කළ හැකි ය. තල්ලු කරන සාධක යනු ජනතාව රාජ්‍ය සෞඛ්‍ය සේවාවලින් ඉවත් කොට පෞද්ගලික අංශය දෙසට යොමු කරන හේතූන් ය. රෝහල්වල තදබදය, වෘත්තිකයන් ආචාරශීලී නො වීම, අපිරිසිදු වටපිටාව, වැඩි වේලාවක්‌ රැඳී සිටීමට වීම ආදිය ඊට උදාහරණ වේ. මේ බොහොමයක්‌ සෞඛ්‍ය සේවයේ වරදින් ම නිර්මාණය වන ඒවා බව පෙනේ. එහෙත් ඵලදායිතා සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කළ ඇතැම් රජයේ රෝහල්, අඩු පිරිවැයකින් සේවයෙහි ගුණාත්මක බව ඉහළ දැමිය හැකි බව ද, පෞද්ගලික රෝහල්වල මට්‌ටමට ම එය උසස්‌ කළ හැකි බව ද ප්‍රායෝගිකව ඔප්පු කර ඇත.

පෞද්ගලික අංශයේ යම් යම් ගුණාංග නිසා ද ජනතාව ඒ වෙත ආකර්ෂණය වන අවස්‌ථා ඇත. (ඇදගන්නා සාධක). මෙයින් සමහරක්‌ වෙළෙඳ ප්‍රචාරණයන්a මගින් නිර්මාණය කරන අව්‍යශතා වේ. පෞද්ගලික රෝහල්වලින් වඩාත් හොඳ සේවාවක්‌ සැලසෙනු ඇතැයි විශ්වාසය, වඩා ආකර්ෂණීය වටපිටාව, රෝගියාට හා අමුත්තන්ට ලබාගත හැකි අමතර පහසුකම් ආදිය මීට උදාහරණ වේ. රාජ්‍ය අංශයේ සීමිත වූ හෝ කොහොමටත් නැති සේවා වෙනුවෙන් පෞද්ගලික අංශය වෙත යැමට රෝගීහු පෙලඹෙති.

පෞද්ගලික සෞඛ්‍ය සේවයේ ඇතැම් ප්‍රවණතාවන් තර්ජනාත්මක ලෙස මතු වී ඇත. බොහෝ දුරට විශේෂඥ වෛද්‍යවරුන්, අනෙකුත් වෛද්‍යවරුන් (Paramedics) පෞද්ගලික අංශය වෙත දායකත්වය සපයන්නේ රාජ්‍ය අංශයේ සේවයෙහි යෙදෙන අතරතුර ය. රාජකාරී වේලාවෙන් බැහැර එහි නිතර වන්නේ වුව ද එයින් රාජ්‍ය අංශයේ කෙරෙන මෙහෙවරට බලපෑම් එල්ල නො වන්නේ ම යෑයි කිව නොහැකි ය. සෞඛ්‍යය වැනි ඉහළ ආතතියකින් යුතු ක්‌ෂේත්‍රයක නිරත වන අයවලුන්ට රාජකාරියෙන් බැහැර ලැබෙන විවේකය ඉතා වැදගත් ය. දිනයේ වැඩි පැය ගණනක්‌ වැඩ කිරීම ඔවුන් ගේ කාර්යක්‍ෂමතාවට හා තීරණ ගැනීමේ හැකියාවට බලපාන බව පර්යේෂණ මගින් ඔප්පු කොට ඇත. එහෙයින් මෙමගින් ඔවුන් රාජකාරි වේලාව තුළ මහජනයාට සපයන සේවාවේ ගුණාත්මක බවට හානියක්‌ වන බව අකැමැත්තෙන් වුව ද පිළිගත යුතු ය. පෞද්ගලික සෞඛ්‍ය අංශයේ බොහෝ විට හෙදියන්, උපස්‌ථායකයන් හා කම්කරු ශ්‍රේණිවල අය පූර්ණකාලීන සේවයෙහි යොදවාගත්ත ද මෑතක පටන් මේ අංශවල වෘත්තිකයන් ද රාජ්‍ය පෞද්ගලික ද්විත්ව රංගනයට යොමු ව තිබීම සම්බන්ධව බලධාරීන් ගේ ඇස්‌ විවර විය යුතු ය.

ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් අවම වයස්‌ සීමාවේ දී රාජ්‍ය සේවයෙන් ඉසිඹු ලබා සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට යොමු වීම ලොකු තැන්වල ඇත්තන් ගැඹුරින් සලකා බැලිය යුතු කරුණකි. හසල අත්දැකීම් ඇති මේ මහ මොළ අකාලයේ රාජ්‍ය සේවයට අහිමි වේ. පෞද්ගලික අංශයට සම්බන්ධ වුව ද, රාජ්‍ය අංශය තුළ මහජන සේවය වෙනුවෙන් ඇති වගකීම නො පිරිහෙලා ඉටු කිරීම සැම මට්‌ටමක ම වෘත්තිකයන් ගේ පරම වගකීම වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එසේ ම කාට වත් දෙස්‌ දෙවොල් නො තබා (අනෙකුත් රටවල වැටුප් මට්‌ටම්වලට සාපේක්‍ෂව) ආකර්ෂණීය වේතන ලබා දෙන්නේ නම් පෞද්ගලික අංශයට මේ වටිනා ශ්‍රම බලකාය ආක්‍රමණය කිරීමට අවකාශ නො ලැබෙනු ඇත.

පෞද්ගලික සෞඛ්‍ය අංශයේ ප්‍රවණතා 
(Trends and Issues in Private Health
Sector)

මිල පාලනය

ලෙඩ වීම මනුෂ්‍යයකුට ඉතා සංවේදී අවස්‌ථාවකි. තම ළබැඳියකු රෝ දුකින් ගලවා ගැනීමට කනකර, ගේදොර පවා විකුණා මුදල් වියදම් කිරීමට බොහෝ දෙනා යොමු වන්නේ නොවැළැක්‌විය හැකි අයුරිනි. වෙනත් භාණ්‌ඩ හා සේවා මිලට ගනිද්දී මෙන් නො ව අත ඇති මුදලට රිසි සේ තෝරා ගැනීමේ අවකාශය මෙහි දී අහිමි ය. ඉතා සීමිත තෝරාගැනීමේ අවස්‌ථා තිබුණ ද බොහෝ විට රෝගියා ලබාගත යුතු භාණ්‌ඩ (ඖෂධ) හා සේවා (පරීක්‍ෂණ, ශල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාර විධි) නිර්ණය කෙරෙන්නේ තුන් වැනි පාර්ශ්වයක්‌ විසිනි. එබැවින් ඒවායේ වටිනාකම් තීරණය කිරීම ඉතා මානුෂිකව හා සාධාරණ ලෙස කළ යුතු බවට විවාදයක්‌ නැත.

පෞද්ගලික සෞඛ්‍ය සේවය තුළ මිල පාලනය දැඩි සේ විවාදයට තුඩු දුන් මාතෘකාවකි. එය යම්කිසි පාලනයකට නතු කළ යුතු බවට බොහෝ පාර්ශ්වවලින් හඬ නැඟේ. බටහිර රටවල නම් මේ සම්බන්ධයෙන් රෝගී අයිතීන් උදෙසා පෙනී සිටින සංවිධාන පෙරමුණ ගත්ත ද අප රට තුළ එබඳු විධිමත් හඬ නැගීමක්‌ නැත. කෙසේ වෙතත් පවත්නා ආර්ථික ක්‍රමය තුළ එය ප්‍රායෝගික නො වන්නක්‌ බව ද වටහා ගත යුතු ය.

පෞද්ගලික සෞඛ්‍ය අංශය ව්‍යාප්ත වීමත් සමග විවිධ සේවා සැපයීම් සම්බන්ධව ඇති ඒකාධිකාරයන් බිඳ වැටී තරගකාරීත්වය තුළින් මිල පාලනයක්‌ ඇති වේ යෑයි බලාපොරොත්තු තැබිය හැකි ය. එහෙත් විශේෂඥ වෛද්‍ය උපදේශනය සම්බන්ධව මේ නියමය වලංගු නො වේ. චැනල් ගාස්‌තු මට්‌ටම් නිර්ණය කරන සාධක ගණනාවකි. වෘත්තීය සුදුසුකම් මෙන්ම අත්දැකීම්, කීර්ති නාමය වැනි මැන බැලිය නොහැකි කාරණා රැසක්‌ ඊට හේතු වේ. එසේ ම එය තරගකාරීත්වය තුළින් පහත නොයන්නකි. එසේ ම ඔබ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා ලබාගනිද්දී ඔබේ බිල්පතට ඇතුළු වන විවිධ අය කිරීම් සම්බන්ධව ඔබට පාලනය මෙන්ම තීරණය කිරීමේ අයිතිය ද අහිමි ය.

කෙසේ වෙතත් පෞද්ගලික රෝහලක්‌ හෝ පෞද්ගලික වෛද්‍යවරයකු හෝ කර යැමේ දී නැතිනම් පෞද්ගලික රසායනාගාරයකින් සේවා ලබා ගැනීමේ දී තමාට දරන්නට වන වියදම් පිළිබඳව දැන ගැනීමේ අයිතිය රෝගියාට හිමි ය. පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව අවධාරණය කිරීමේ කාලය එළැඹ ඇත.

රාජ්‍ය අංශය තුළ රෝගීන්, අතින් වියදම් කරන මුදල
(Out of pocket expenditure of heath))

පෞද්ගලික සෞඛ්‍ය සේවාවල මිල ගැන අප මෙතරම් වද වුව ද, වත්මන් රාජ්‍ය සෞඛ්‍ය සේවය ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිදහස්‌ සෞඛ්‍ය සේවයක්‌ නො වේ. බාහිර රෝගී අංශයෙන් හෝ සායනයකින් හෝ ප්‍රතිකාර ගන්නා ඔබට කෙතරම් ඖෂධ ප්‍රමාණයක්‌ පිටතින් මිල දී ගැනීමට සිදු වේ ද? එසේ ම රජයේ රෝහල්වල (ශික්‌ෂණ රෝහලක්‌ නො වන්නට) කිරීමට ඉඩ ඇත්තේ කෙතරම් සීමිත පරික්‍ෂණ ප්‍රමාණයක්‌ ද? ඇතැම් විට CT, MRI, Endoscopy ආදී පරීක්‍ෂණ සඳහා පොරොත්තු ලේඛනවල හිඳීමට අකැමැති රෝගීහු පෞද්ගලික අංශයට යොමු වෙති. රාජ්‍ය රෝහල්වලින් සේවා ලබාගත්ත ද මහජනතාව දැනට ද විශාල මුදලක්‌ සිය පොකැට්‌ටුවෙන් වියදම් කරති. එබැවින් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා ලබාගැනීමට ජනතාව ගේ අතින් වැය වන මුදල අවම කිරීමට රජයට ද කළ හැකි කාර්යභාරයක්‌ ඇත.

රෝග ව්‍යාප්තියේ වන වෙනස්‌කම්

පෞද්ගලික වෛද්‍ය සේවාවේ හෙට දවස ගැන විමසීමේ දී, අපේ සෞඛ්‍ය අංශය අනාගතයේ දී මුහුණ දීමට නියමිත අභියෝග සම්බන්ධව ද දැනුවත් ව හිඳිය යුතු ය. රෝග ව්‍යාප්තියේ සිදු වනු ඇතැයි අපේක්‍ෂිත වෙනස්‌කම්වලට (Epidemiological
Transition) සමගාමීව රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ද පරිණාමයට ලක්‌ වනු ඇත. එළඹෙන දශකය තුළ අපේ සෞඛ්‍යයට වැඩි බරක්‌ පැටවෙනු ඇත්තේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රොගවලිනි. මේ රෝගීනට දීර්ඝකාලීන ප්‍රතිකාර අවැසි අතර දැනටත් රජයේ රෝහල්වල සායන කරා පැමිණිය ද මෙබඳු රෝගීන් බහුතරයක්‌ වූ ඖෂධ මිල දී ගන්නේ අතේ වියදමිනි. ((out of pocket). මන්ද යත් අධිරුධිර පීඩන, හෘදයාබාධ ඖෂධ, කොලෙස්‌ටරෝaල් අඩු කරන ඖෂධ ආදිය බොහෝ විට රෝහල් ඩිස්‌පෙන්සරියේ කළුනික මෙන් වන බැවිනි.

මේ රෝගීන්ට සේවා සැපයීම සම්බන්ධව රාජ්‍ය හා පෞද්ගලික අංශවල විශාල පරතරයක්‌ ඇති වීම අයහපත් ප්‍රවණතාවකි. මේ රෝගීහු ශීඝ්‍රයෙන් පෞද්ගලික අංශය කරා යොමු වෙමින් සිටිති. රජයේ රෝහල වෙත ගිය ද බෙහෙත්වලට අතින් වියදම් වන්නේ නම්, සායන පෝලිම්වල කල් නො මරා පෞද්ගලික අංශයට යැම යෙහෙකැයි රෝගීන්ට සිතීම සාධාරණ ය. තව ද

රැකියාවල නිරත රෝගීහු ද රාජකාරී වේලාව තුළ පැමිණීමේ අපහසුතාව නිසා පෞද්ගලික අංශ වෙත යොමු වෙති. මෙබඳු රෝගීන්ට අඛණ්‌ඩ ක්‍රමවත් ප්‍රතිකාර හා පසු විපරම් (Regular Followup) අවශ්‍ය වේ. තව ද මේ රෝග ඖෂධවලින් පමණක්‌ සුවපත් කළ නොහැකි වේ. නිසි ආහාර වේලක්‌, අවශ්‍ය තරම් ව්‍යායාම ආදී වූ ජීවන රටාවේ ඇති කරගත යුතු යථා වෙනස්‌කම් (Life style modifications) පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලැබිය යුතු ය. බොහෝ විට පෞද්ගලික අංශය තුළ ද මෙබඳු පරිපූර්ණ සේවාවක්‌ ලැබීම තහවුරු කළ යුතු ය.

මේ රෝග සඳහා වන වියදම් අධික සංකූලතාවන් ඇති කරවයි. (හෘදයාබාධයකින් පසු Bypass ශල්‍යකර්මයක්‌ කිරීමට වීම, දියවැඩියා, අධික රුධිර පීඩන තත්ත්වය නිසා වකුගඩු අක්‍රිය වීම, වකු=ගඩු බද්ධ කිරීමට සිදු වීම) මේ රෝගවල වත්මන් ව්‍යාපෘතිය අනුව මෙබඳු සංකූලතා නුදුරු අනාගතයේ දී සුලබ වේ යෑයි අපේක්‍ෂා කළ හැකි ය. ඒවාට අවශ්‍ය සේවා සැපයීමට වත්මන් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ධාරිතාව කිසිසේත් ප්‍රමාණවත් නැත. මේ සඳහා පෞද්ගලික අංශයෙන් ඵලදායි දායකත්වයක්‌ ලබා ගැනීමට පියවර ගැනීම වටී. එහෙත් අය කරන මිල ගණන් සාධාරණ විය යුතු ය.

සෞඛ්‍ය රක්‍ෂණ ආවරණ 

සෞඛ්‍ය රක්‍ෂණ ආවරණ, අපේ සෞඛ්‍ය වියදම් කෙරෙහි දක්‌වන බලපෑම් ද තක්‌සේරුවට ලක්‌ කිරීම වටී. ඇමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍ය සමහරක සමස්‌ත සෞඛ්‍ය වියදමින් බහුතරය තෘප්ත වන්නේ රක්‍ෂණ ආවරණ හරහා ය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ලංකාව තුළ ද මේ ප්‍රවණතාව ඇති වනු ඇතැයි අපේක්‍ෂා කළ ද එය සිතූ තරම් ව්‍යාප්ත වූයේ නැත. මේ වන විට පෞද්ගලික සෞඛ්‍ය සේවා වෙනුවෙන් වැය වන බරපැනෙන් රක්‍ෂණ ආවරණ වගකියන්නේ 9.1%ක්‌ තරම් සුළු අගයකට ය. (සමස්‌තයක්‌ වශයෙන් ලෝකයේ ම එම ප්‍රතිශතය 18%ක්‌ වේ). එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද ඇත. මේ හරහා අත්‍යවශ්‍ය නො වන, මිල අධික සෞඛ්‍ය සේවාවක්‌ නිරපරාදේ ලබා ගැනීමට මිනිසුන් පෙලඹීම මඟින් සමස්‌ත සෞඛ්‍ය වියදම ඉහළ යැම නො වැළැක්‌විය හැකි වනු ඇත. එහෙත් ඉහත සඳහන් කළ පරිදි බයිපාස්‌ ශල්‍යකර්ම, වකුගඩු බද්ධ කිරීම් ආදී අධි මිල සේවාවන් ලබාගැනීමේ දී රක්‍ෂණ ආවරණ මඟින් රෝගීන් ගේ හිතට නිවනක්‌ ලැබෙන බව ද පිළිගත යුතු ය. එහෙත් ආර්ථික විශාරදයන් ගේ මතය ලංකාව වැනි රටක සමාජ ආකල්ප අනුව සෞඛ්‍ය රක්‍ෂණ ආවරණ පුළුල් ලෙස ව්‍යාප්ත වීමේ ඉඩකඩක්‌ නැති බව ය.

සෞඛ්‍ය සංචාරක කර්මාන්ත

පෞද්ගලික සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව විමසන කල සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය (Health Tourism) නම් සංකල්පය පිළිබඳව ද අවධානයට ලක්‌ කළ යුතු ය. තම රට තුළ එම සේවාවන් නො තිබීම හෝ තිබිය ද අධික මිලක්‌ ගෙවීමට සිදු වීම නිසා හෝ පොරොත්තු ලේඛනවල ගත කිරීමට සිදු වීම නිසා විදේශ රටකට හෝ ගොස්‌ අදාළ සේවාව ලබා ගැනීම මෙයින් අදහස්‌ කෙරේ. සංවිධානාත්මකව දියුණු කරන්නේ නම් එය යහමින් විදේශ විනිමය උපයාගත හැකි ඉල්ලමක්‌ බව ඇතැම් රටවල් ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. බටහිර රටවලට සාපේක්‍ෂව අපේ රටේ වියදම් අඩු ය. ඇතැම් ආසියාතික රටවල මේවාට දිගු පෝලිම් ඇත. මේ සාධක හේතු කොට ලංකාව සෞඛ්‍ය සංචාරක කර්මාන්තය සඳහා උචිත තෝතැන්නක්‌ වී ඇත. එහෙත් සංචාරකයන්ට ප්‍රමුඛත්වය දී දේශීය පාරිභෝගිකයන්ට සපයන සේවා දෙවැනි තැනට නො දැමීමට වගබලාගත යුතු ය.

සෞඛ්‍ය වෘත්තිකයන් ගේ පුහුණුව 

පෞද්ගලික සෞඛ්‍ය අංශයේ විවිධ මට්‌ටමේ වෘත්තිකයන් ගේ පුහුණුව තවත් ගැටලුවකි. රාජ්‍ය සේවයේ යෙදී සිටින අතරතුර හෝ ඉන් ඉවත් වී පෞද්ගලික අංශයට දායකත්වය සපයන වෘත්තිකයන් ගේ කුසලතා පිළිබඳව විවාදයක්‌ නැත. මන්ද යත් අදාළ ශ්‍රේණි යටතේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක්‌ වීමට නම් පිළිගත් ආයතනයක නිසි න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සපුරා සිටිය යුතු හෙයිනි. (වෛද්‍යවරුන්ට නම් පිළිගත් වෛද්‍ය පීඨයක උපාධියක්‌, හෙදියන්ට නම් රාජ්‍ය හෙද විදුහලක පුහුණුවක්‌). එහෙත් පෞද්ගලික රෝහල්වල සේවා සපයන හෙදියන් ගේ පුහුණුව පිළිබඳ ප්‍රශ්නාර්ථයක්‌ ඇත. පෞද්ගලික හෙද විදුහල් හතු පිපෙන්නාක්‌ මෙන් බිහි ව ඇති අතර ඒවායේ ලබා දෙන පුහුණුව නිසි ප්‍රමිතිකරණයට ලක්‌ කර නැත. ඇතැම් පෞද්ගලික රෝහල් තමන්ට අවශ්‍ය හෙද ශ්‍රම බලකාය නිපදවා ගැනීමට තමන් ගේ ම පුහුණු ආයතන පවත්වාගෙන යයි. උපස්‌ථායක හා කම්කරු ශ්‍රේණි සම්බන්ධව ද ඊට සමාන ගැටලු ඇත.

පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ විදේශීය වෘත්තිකයන් සේවයෙහි යෙදීම ද නව ප්‍රවණතාවක්‌ වී ඇත. (විශේෂඥ වෛද්‍යවරුන් පවා). ඔවුන් නිසි පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි වී සිටිය යුතු ය.

පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල තත්ත්වය

පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල තත්ත්වය ඊටත් වඩා භයානක ය. රජයේ සහතික ලත් වෛද්‍ය රසායනාගාර ශිල්පියකු (MLT) සිටීම අනිවාර්ය වුව ද රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර විවෘත ව ඇති ලේ මුත්‍රා පරික්‍ෂා කරන ස්‌ථානවල එබඳු වෘත්තියක්‌ සිටින්නේ අතළොස්‌සක්‌ පමණක්‌ බව ප්‍රසිද්ධ රහසකි. තවත් සමහරක සහතිකය රාමු කර බිත්තියේ එල්ලා තිබුණ ද අදාළ පුද්ගලයා අහලක වත් නැත. මෑතක පටන් භෞත චිකිත්සක, කථන චිකිත්සක, පෝෂණවේදී, උපදේශන ආදී සේවා රැසක්‌ පෞද්ගලික අංශය හරහා සැපයීම ඇරඹී ඇත. ඔවුන් ද නිසි සුදුසුකම් සැපිරූ අය දැයි විමසිලිමත් විය යුතු ය. පෞද්ගලික සෞඛ්‍ය සේවයේ තවත් අඳුරු පැතිකඩක්‌ වන්නේ කිසිදු සුදුසුකමක්‌ නැති පල් හොරුන් වෛද්‍යවරුන් ගේ වේශයෙන් ඩිස්‌පෙන්සෙරි පවත්වාගෙන යැම ය ((Quacks) ඈත ගම් දනව්වල පමණක්‌ නො ව ප්‍රධාන නගර ආශ්‍රිතව ද මොවුහු ස්‌ථානගත ව සිටිති.

රෝග කලින් හඳුනාගැනීමේ පරීක්‍ෂා (Screenings)

සාමාන්‍ය කායික පරීක්‍ෂා (General health checks) හා විවිධ රෝග සඳහා ඉලක්‌කගත පූර්ව හඳුනාගැනීමේ පරීක්‍ෂා (Screening tests) මේ වන විට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. පෞද්ගලික අංශය මෙහි පෙරමුණ ගෙන සිටින අතර ඔවුහු ඒ සඳහා දැවැන්ත ප්‍රචාරණය ව්‍යාපාර ද ගෙන යති. Screening ඉතා ප්‍රයෝජනවත් සංකල්පයක්‌ වන අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී තත්ත්ව මෙන්ම සමහර පිළිකා වර්ග ද (පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා) ශරීරයට බරපතළ හානි ඇති කිරීමට පළමුවෙන් අනාවරණය කරගැනීම මඟින් රෝගියාට විශාල යහපතක්‌ සැලසිය හැකි ය. එසේ ම ප්‍රතිකාර සඳහා යන විදයම් අඩු වීම ජාතික ආර්ථිකයට ද රුකුලක්‌ ගෙන දේ. එහෙත් එබඳු වැඩසටහනක්‌ සැලසුම්සහගත ව, නිසි මාර්ගෝපදේශන යටතේ දියත් කළ යුතු ය. පෞද්ගලික අංශය තුළ අප බොහෝ විට දකින්නේ මහජනතාව වෙනුවෙන් සද්කාර්යයක්‌ ලෙස අදාළ සේවා සැපයීමක්‌ නො ව අදාළ රෝග සම්බන්ධව අනියත බියක්‌ ජනිත කරවා (Fear marketting) මහජනතාව ගේ පසුම්බියට තට්‌ටු කිරීමේ උපායකි. කලින් හඳුනා ගත්ත ද රෝගියාට යහපතක්‌ ඇති කිරීමට අවකාශ නැති රෝග තත්ත්ව සඳහා Screening අනවශ්‍ය බව (පුරඃස්‌ථ ග්‍රන්ථියේ පිළිකා වැනි) වෛද්‍ය මතයයි.

පෞද්ගලික සෞඛ්‍ය සේවය ජනතාව ගේ
යහපත සඳහා යොදවාගන්නේ කෙසේ ද?

පෞද්ගලික සෞඛ්‍ය සේවය රටේ ජනතාව සුවපත් කිරීමේ සද්කාර්යය වෙනුවෙන් තර්ජනාත්මක සාධකයක්‌ ලෙස නො ව ආශිර්වාදයක්‌ බවට පෙරලා ගන්නේ කෙසේ ද? නූතන සමාජ ආර්ථික වටපිටාව අනුව එය ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාවක්‌ ලෙස ව්‍යාප්ත වීම යථාර්ථයක්‌ ලෙස අප පිළිගත යුතු ය. ඉදින් කළ යුත්තේ නිරෝගීමත් ජාතියක්‌ බිහි කිරීම වෙනුවෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවය ශක්‌තිමත් ආධාරකයක්‌ ලෙස යොදවා ගැනීමට පියවර ගැනීම ය.

වියදම් දැරීමේ හැකියාව ඇති අය පෞද්ගලික අංශයට යොමු වීම මඟින් රජයේ රෝහල්වල තදබදය අඩු වී, දුප්පත් රෝගීන්ට අදාළ සේවා පහසුවෙන් ලබාගැනීමට මඟ විවර වීම යහපත් ප්‍රවණතාවකි. ධනවත් රෝගීන් වුව ද පෞද්ගලික අංශයේ වැඩි මිලක්‌ ගෙවා ලබාගත යුතු සේවා ලබාගැනීමට රජයේ රෝහල් කරා එන අයුරු අපි දන්නෙමු. එසේ ම දීර්ඝකාලීනව ප්‍රතිකාර අවැසි රෝගී තත්ත්ව (දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි) සඳහා හැකියාව ඇති අය පෞද්ගලික අංශයට යොමු වීම මඟින් රෝහල් සායනවල දිගු පෝලිම් කෙටි වීමට ඉඩ ඇත. මෙය රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගූණාත්මක බව නංවාලීමට අවස්‌ථාවක්‌ කරගත හැකි ය. එවිට රෝගීන් වෙනුවෙන් වැඩි කාලයක්‌ කැප කර, පවත්නා සීමිත සම්පත් වඩාත් ම අවශ්‍ය කෙනා උදෙසා යොමු කළ හැකි ය.

පෞද්ගලික සෞඛ්‍ය ක්‌ෂේත්‍රය නිසි අධීක්‍ෂණයකට (Monitoring) ලක්‌ කරමින්, අවශ්‍ය මාර්ගෝපදේශන (guidelines) සපයමින් එයින් ප්‍රශස්‌ත මට්‌ටමේ සේවයක්‌ මහජනතාවට ලැබෙන බව සහතික කිරීම රජයේ වගකීම වේ. පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව පිහිටුවීමෙන් හා 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වා දීමෙන් ඒ සඳහා යම් මැදිහත් වීමක්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේ ය. ඊට පෙරත් පෞද්ගලික සෞඛ්‍ය සේවාව යාමනය කිරීම සඳහා යම් සීමිත විධි විධාන බලාත්මක වූ මේ පනතේ ප්‍රධාන කාර්යභාරයක්‌ වූයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන ලියාපදිංචි කිරීම ය. මෙරට තුළ වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අනුමැතිය ලත් වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් යළි මුදල් ගෙවා ලියාපදිංචි වීම අනවශ්‍ය දෙයක්‌ බවට තර්ජනයක්‌ මතු වූ හෙයින් මේ වෑයම සම්පූර්ණයෙන් සාර්ථක වූයේ නැත. බොහෝ පෞද්ගලික වෛද්‍ය සේවා ආයතන ආරම්භයේ දී මේ ලියාපදිංචියට ඉදිරිපත් වුව ද කල් යැමේ දී විවිධ කරුණු හේතුකොටගෙන එයට සැලකිල්ලක්‌ නො දැක්‌වීම නිසා ගැටලු මතු විය.

එහෙත් බලධාරීන් ගේ අදහස වූයේ මේ පනත හරහා බලාපොරොත්තු වූයේ පුද්ගලයන් නො ව ආයතන ලියාපදිංචි කිරීම බව ය. එම ආයතන ප්‍රමිතිකරණයකට (Standardization) බඳුන් කිරීමට මෙය හොඳ ආරම්භයක්‌ කරගත හැකි ව තිබුණ ද බලධාරීන් සාර්ථක ප්‍රවේශයක්‌ නො ගැනීම නිසා එයට බාධා එල්ල විය. මේ පනත සෞඛ්‍ය පොලිසියක්‌ නො ව පෞද්ගලික සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට රුකුල් දෙන ධනාත්මක පියවරක්‌ බව ඒත්තු ගැන්විය යුතු ව තිබිණි.

ලියාපදිංචියෙන් පසු අදාළ ආයතනයට හෝ වෘත්තිකයන්ට සැලසෙන වාසි පිළිබඳව නිසි පරිදි දැනුවත් කළ යුතු ව තිබිණි. ජනතාව තත්ත්වය හා ගුණාත්මක බව සහතික කළ ආයතන වෙත වැඩිපුර යැමට නිරායාසයෙන් ම පෙලඹේ. රටේ පෞද්ගලික අංශයට බලපෑම් එල්ල කළ හැකි තීරක බලවේගයක්‌ ලෙස ඉහත කී පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවට ද විශාල වගකීමක්‌ පැවරේ. මේ ලිපියේ දැක්‌වුණු අනේකවිධ අඩුපාඩු හා දුර්වලතාව මඟහරවා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශන සැපයිය යුතු ව ඇත. පෞද්ගලික අංශයෙන් තමන් ලබාගන්නා සේවා පිළිබඳ ප්‍රශ්න කිරීමේ හා එහි ගුණාත්මක බව වෙනුවෙන් අභියෝග කිරීමේ අයිතිය ද මහජනතාව සතු බව වටහා ගත යුතු ය. එම අයිතීන් පිළිබඳව ජනතාව දැනුවත් ව සිටිය යුතු ය. කුමක්‌ වුව ද ජනතාව වැය කරන මුදලට සරිලන හොඳ තත්ත්වයේ සුව සේවයක්‌ ලැබෙන්නේ ද යන්න විමසීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන් අත වන බව අපි යළිදු අවධාරණය කරන්නෙමු.

අමිල චන්ද්‍රසිරි
විශේෂ ස්‌තුතිය-සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම් සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා සංවර්ධන අධ්‍යක්‌ෂ
වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට

 

 

ඖෂධ සමාගම් වෛද්‍යවරුන් හරහා රෝගීන් ගසාකන්නේ මෙහෙමයි

ඖෂධ සමාගම් වෛද්‍යවරුන් හරහා රෝගීන් ගසාකන්නේ මෙහෙමයි

orvoskorruptඖෂධ මාෆියාව ගැන වෛද්‍යවරයකුම කරන හෙළිදරව්ව 
පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඟ හිරිවැටෙන ප්‍රකාශයක් සිදුකර තිබුණි. එමගින් එතුමා අවධාරණය කර තිබුණේ තම අමාත්‍යංශය ආශ්‍රිතව සිදුකරන මහා පරිමාණ ඖෂධ මාෆියාවේ සැබෑ තොරතුරු ළඟදීම හෙළි කරන බවත් එයින් අනතුරුව තමාට තම ජීවිතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය. එනම් එතුමා මරා දැමීමට තරම් බලවත් ඖෂධ වෙළෙඳ‍පොළ පාතාලයක් ක්‍රියාත්මක වන බවත්ය.
පසුගිය තිස් වසරකට ආසන්න කාලයක මෙරට බලයට පත් බොහෝ රජයන්හි සෞඛ්‍ය අමාත්‍යවරුන් ලබාදුන් එක් ‍පොදු ‍පොරොන්දුවක් වූයේ රටට ගැළපෙන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත්ය. තිස් වසරක කුරිරු යුද්ධය නිමා වුවද තවම ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හමස් පෙට්ටියේ වත් නැත. වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමන්ම පවසන පරිදි එතුමා විසින් සකස් කළ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අඩංගු ලිපි ‍ලේඛන ලිපිකරුවන් විසින් නැතිකර දමා ඇත.
මේවා සියල්ල කිසිසේත්ම සරල ප්‍රකාශ නොවේ. අපගේ රාජකාරී ලිපියක් වුවද නැති වුවහොත් අදාළ ලිපිකරුවා ඒ ගැන වගකිව යුතුය. එසේ නම් ඇමැතිතුමාගේ රාජකාරී ලිපිය නැතිවීම ලඝු කොට තැකිය හැකිද? පසුගිය කාලයේ විටින් විට පුවත්පත්වලින් හෙළි වූයේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන ගණනක් වන ඖෂධ භාවිතයට නුසුදුසු බවය. එහෙත් ඒවා බොහොමයක් රෝගීන්ට ලබාදී ඇති බවත්ය. තවත් බිලියන ගණනක් වටිනා ඖෂධ තොග විනාශ කරන බවත්ය.
මේවා ඉතා සරල ප්‍රකාශ ලෙස පුවත්පත්වල  පළවුවද අවාසනාවට ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව පෙන්වන ඊනියා වෘත්තීය සමිති හෝ දේශපාලකයින් හෝ බලධාරීන් හෝ මුනිවත රැකීම ගැටලුවකි. රජයේ රෝහලකදී සෞඛ්‍ය සේවකයකු අතින් වන සුළු හෝ වරදකට පැය ගණනක් ඇතුළත විනය පරීක්ෂණ පවත්වා වැඩ තහනම් කරන රටක මේවා ගැන බලධාරීන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ කාගේ කාගේ කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග ඇති බව නොවේදැයි බොහෝ දෙනා විමසති.
වැරදිකරුවන් සුවසේ ඉහළ තනතුරුවලට පත්වෙද්දී වැරදිකරුවන්ගේ නිරුවත හෙළි කරන බොහෝ නිලධාරීන් සහ සමාජ සංවිධානවලට එරෙහිව දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර, අන්තර්ජාලයේ ප්‍රචාරය වෙනු දක්නට ලැබේ. එමෙන්ම ස්වකීය වෘත්තීය සගයන් අතරින් එල්ලවන තර්ජන මෙන්ම ඇතැම් විට විවිධ වෙස් ගෙන පැමිණෙන ජීවිත තර්ජන මෙන්ම කීර්ති නාමය විනාශ කිරීමේ උපායන් ගැනද බොහෝ විට අසන්නට ලැබෙන අතර මෙම ලිපිය ලියන ‍ලේඛකයාද මෙම අත්දැකීම් නොඅඩුව ලද බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ඇත්තෙන්ම මා තවමත් ජීවත් වීම ගැන විටෙක මම පුදුම වෙමි.
අප අවධාරණය කරනුයේ රජය මගින් පමණක් ඖෂධ ගෙන්විය යුතු බව නොවේ. බටහිර ඖෂධ සමාගම් හරහා ගෙන්වන ඖෂධවලද මිල පාලනයට නතු විය යුතු බවකි. මක්නිසාද යත් අනෙක් බහුජාතික නිෂ්පාදන මෙන් නොව ඖෂධ යනු අපගේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය වන සාධකයකි. මිල වැඩි ආහාරයක් හෝ මෝටර් රථයක් හෝ අපට ප්‍රතික්‍ෂේප කළ හැකිය. එහෙත් අපට අත්‍යවශ්‍ය ඖෂධයක් එසේ ප්‍රතික්‍ෂේප කළ යුත්තේ    මරුට අත වනමිනි. ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිව දිනපතා විශාල ප්‍රමාණයක් මියයන බව මෙරට වගකිවයුතු අය නොදන්නවා විය හැකිය.
මේ වනවිට ලොව පුරා පවතින්නේ වෙළෙඳ‍පොළ ආර්ථිකයකි. සෑම
ක්‍ෂේත්‍රයක්ම වෙළෙඳ‍පොළ ආර්ථික ප්‍රවාහය මගින් තීරණය වෙයි. මේ අතර වඩාත් විවාදයන්ට තුඩුදෙන ක්‍ෂේත්‍රයක් වී ඇත්තේ වෛද්‍ය වෘත්තිය සහ ඖෂධ වෙළෙඳාම අතර පවතින සබඳතාවයන්ය. වෛද්‍ය වෘත්තිය සහ මෙම ඖෂධ වෙළෙඳාම අතර සෘජු බැඳීමක් ඇතිවී තිබෙන්නේ ඖෂධ අලෙවි වේගය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ පාරිභෝගිකයා වන රෝගියා මත නොව, රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා මගින් වීමයි.
ලොව පුරා සියලුම අවස්ථාවලදී වෙළෙඳ භාණ්ඩයේ ඉලක්කය පාරිභෝගිකයන්ය. ගුවන් විදුලිය, රූපවාහිනිය, මුද්‍රිත මාධ්‍යයන් මගින් තමන්ගේ වෙළෙඳ භාණ්ඩය වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියි. මෙහිදී අතරමැදියෙක් නොමැත. නමුත් ඖෂධ වෙළෙඳාමේදී තමන්ගේ ඖෂධ    මිලදී ගන්නා ලෙස රෝගීන්ට බලකිරීමට හෝ වෙළෙඳ ප්‍රචාරණය දියත්කිරීමට ඖෂධ සමාගම්වලට නොහැකිය.       සියල්ල රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා තීරණය කරන බැවිනි. මේ නිසා ඖෂධ වෙළෙඳ‍පොළ තුළ තීරණාත්මක බලයක් වෛද්‍යවරයාට හිමිවී පවතින අතර, වෛද්‍ය වෘත්තිය වෙළෙඳ‍පොළ තුළ විකිණෙන තත්ත්වයන් නිර්මාණය වී පවතින්නේද මේ නිසාය.
2006 ජිනීවා ලෝක වෛද්‍ය සම්මේලන ප්‍රඥප්තියට අනුව වෛද්‍යවරයෙකුගේ පරම උත්සාහය සහ ප්‍රාර්ථනාව තම රෝගියාට සුවය උදාකිරීමයි. අවංකව හා විශ්වාසනීය ලෙස තම සේවය රෝගීන්ට ලබාදීමට වෛද්‍යවරු බැඳී සිටිනවා. එහෙත් කුමන හෝ හේතුවක් නිසා වෛද්‍ය වෘත්තිය
ඖෂධ වෙළෙඳ‍පොළට අවශ්‍ය ලෙස පාලනය වන තත්ත්වයක් නිර්මාණය වී පවතියි. මෙම ලිපියේ අරමුණ වෛද්‍ය වෘත්තිය මේ අන්දමට ඖෂධ වෙළෙඳ‍පොළට නතුවීමේ පසුබිම හා එහි වගඋත්තරකරුවන් සොයා යෑමයි.
පාරිභෝගික රෝගී ජනතාව හැකි සෑමවිටම විශ්වාසය තබන්නේ තමාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා කෙරෙහිය. ඒ පිටුපස පවතින යථාර්ථය පෙනෙන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් දත්ත පෙන්වා දෙන පරිදි ඖෂධ සමාගම් අනෙක් සියලුම    වෙළෙඳ ප්‍රජාවට වඩා තම ප්‍රචාරණය සඳහා මුදල් වියදම් කරයි. කෙසේ වුවත් මෙම වෙළෙඳ ප්‍රචාරණයේ විශේෂත්වය සෘජු පාරිභෝගික රෝගී ජනතාව (Direct to  consumer advertising) හෙවත් DTCA වෙනුවට අතරමැදි වෛද්‍යවරුන් ඉලක්ක කර ගැනීමයි. මෙයට අමතරව ඖෂධ සම්බන්ධව වෙළෙඳ ප්‍රචාරණ  දැන්වීම් පැතිරීමද බොහෝ රටවල නීතියෙන් තහනම්ය. මේ නිසා Doctor directed promotion හෙවත් වෛද්‍යවරුන් මෙහි ප්‍රධාන ඉලක්කයයි.
ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ඖෂධ වෙළෙඳාම පාලනය සඳහා රාජ්‍ය අංශයේ නිසි පරිදි දායකත්වයක් නොලැබෙන බව වාර්තා වෙයි. මෙය කනගාටුදායක තත්ත්වයකි. නිසි පරිදි ඖෂධ පාලනය පවත්වාගෙන යාම සඳහා ඉන්දියාව තුළද ආහාර ඖෂධ පාලකයින් සිටින්නේ 700 – 3000    අතර අගයක් වුවද, එරටෙහි නිසි පාලනයට මේ තත්ත්වය හත් ගුණයකින් පමණ වැඩි විය යුතුය.
ඖෂධ සබුද්ධික භාවිතාව සම්බන්ධව උපදෙස් ලබාදෙන ආයතන සඳහන් කරන්නේ බොහෝ රජයන් පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම සඳහා දරන ආයාසයන් ඉතා මද බවය. තහනම් කරන ලද භාවිතයට නුසුදුසු, වෙළෙඳ‍පොළේ ඉවත් කරන ලද ඖෂධ ආදිය මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟා වෙයි. අත්තනෝමතික ඖෂධ පරිහරණය පාලනය සඳහා වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ද සහභාගි වන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුව ඇත. කෙසේ වුවත් මෙම කාර්යය සඳහා ශ්‍රම දායකත්වය දැක්විය හැකි පිරිස අඩුවීම ගැටලුවකි. සෑමවිටම ජාත්‍යන්තර වශයෙන් සිදුවන්නේ කුමක්දැයි දැඩි අවධානයකින් පසු විය යුතුය. එසේ නොවුවහොත් ඇතැම් රටවල තහනම් කරන ලද ඖෂධ අප විසින් කාලයක් මුළුල්‍ලේ භාවිතා කරමින් සිටින අවස්ථා බොහෝය.
ඇතැම් රටවල ඖෂධ පාලන අධිකාරි පවතින නමුත් ඒවා මගින් විවිධ ඖෂධ ආයතනවලට ස්වයං පාලනයට ඉඩ සලසා ඇතත් එය රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඉවහල්වන උපායක් නොවේ. බොහෝ රටවල මේ සඳහා පවතින නීතිමය රාමුද ප්‍රමාණවත් නොමැත. ඇතැම් රටවල ඖෂධ ප්‍රචාරණයේදී එහි වාසි පමණක්    ඉස්මතු කරන අතර, අතුරු ආබාධ සංකූලතා, ඖෂධ ප්‍රතික්‍රියා ආදිය ගැන කිසිදු දැනුවත් කිරීමක් සිදුනොවීම කනගාටුදායක කරුණකි.
විවිධ පර්යේෂණ මගින් අනාවරණය වී පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පරිහරණය වන ඖෂධ තුණ්ඩුවලින් 50කට ආසන්න ප්‍රමාණයක් අනවශ්‍ය ඖෂධ නිකුත් කිරීම බවයි.
දැනට ලොව නව තාක්ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් සම්බන්ධව නවතම දැනුම වෛද්‍ය වෘත්තිය රෝගීන් වෙනුවෙන් භාවිතා කරන වෛද්‍යවරුන්ට  සම්ප්‍රේෂණය වන්නේ ඉතා මඳ වශයෙනි. මේ නිසා තමාට ස්වාධීන ලෙස තොරතුරු ලබා ගැනීම අපහසුවන අවස්ථාවලදී ඒ සඳහා බොහෝ විට වෛද්‍යවරුන්ට පිහිටට  සිටින්නේ වෙළෙඳ සමාගම් නියෝජිතයන්ය. මෙම අඩුපාඩුව වෙළෙඳ සමාගම තම ප්‍රයෝජනය සඳහා යොදාගන්නා බව පෙනෙයි. මේ නිසා මෙහි වරද වෛද්‍යවරුන්ටම පැවරීම සුදුසු නැත.
ශ්‍රී ලංකාව වැනි රටවල වෛද්‍ය උපාධිවලින් වෛද්‍යවරුන් උපාධිය සමත්ව පිටමං වූ පසුව නැවත වතාවක් ඔවුන් පශ්චාත් වෛද්‍ය උපාධිය සම්පූර්ණ නොකරන්නේ නම් ඔවුන්ගේ  දැනුම අලුත් වීමක් සිදුනොවෙයි. ඖෂධ සමාගම නියෝජිතයින් විසින් ලබාදෙන දැනුම බොහෝ  විට නිවැරදි නොවේ. මේ නිසා වෛද්‍යවරුන් නොමග යන අවස්ථාද පවතියි. මෙහි අවසාන ප්‍රතිඵලය රෝගීන් වැරදි ඖෂධ වර්ග භාවිතයයි. නැතහොත් අනවශ්‍ය පරිදි ඖෂධ භාවිතයට සිදුවීමය.
ඉන්දියානු ආර්ථික සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික මහා කොමිෂන් සභාව සඳහන් කරන අන්දමට ලොව අංක එකේ මට්ටමේ පවතින ප්‍රධාන ඖෂධ වර්ගවලින් හරි අඩකට වඩා වැඩි  ප්‍රමාණයක් අවිධිමත් ලෙස භාවිතවන නැතහොත් මිනිසාට සම්පූර්ණයෙන්ම හිතසුව පිණිස නොවන ඖෂධයන්ය.
ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන අන්දමට 2005 වසර වන විට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් එක් පුද්ගලයෙකු වෙනුවෙන් වාර්ෂිකව සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල ඇ. ඩොලර් 3727කි. මධ්‍යම ආර්ථික රටවල මෙම අගය ඩොලර් 141 වන අතර පහළ ආර්ථික පසුබිමක් සහිත රටවල එය ඩොලර් 24කි. මේ අනුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල ඉතා ඵලදායී ලෙස යොදා ගත යුතුය. ඖෂධ සමාගම්වල ඖෂධ ප්‍රචාරක වැඩසටහන් මගින් මෙය ඉෂ්ට නොවෙයි.
මේ අතර අලුතින් වෙළෙඳ‍පොළට නිකුත් කරන බව පවසන බොහෝ ඖෂධ වර්ග නව ඖෂධ නොව මීට පෙර වෙළෙඳ‍පොළේ පැවති ඖෂධම විවිධ නාමයන්ගෙන් පැමිණීමක් ලෙස දැක්විය හැකිය. වෙළෙඳ‍පොළට කොතෙක් නව ඖෂධ වර්ග පැමිණියද ඒවායේ පැවැත්ම  තාවකාලික වීම මෙයට නිදසුනකි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් (ඕර්බ්) මඟින් කළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ වෙළෙඳ‍පොළට නිකුත් වන විවිධ නව ඖෂධ වර්ගවලින් සත්‍ය ලෙසට පෙරළියක්   සිදු කරන්නේ 5 ප්‍රමාණයකි.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

 

 

ඖෂධ වර්ග 1379ක් මෙරටට ආනයනය කරනවා

ඖෂධ වර්ග 1379ක් මෙරටට ආනයනය කරනවා

Lalith Dissanayake mp

විවිධ රටවලින් මෙරටට ඖෂධ වර්ග (විවිධ රසායනිකයන්) 1379ක් ආනයනයට කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.
විපක්ෂයෙන් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂිත පැනයකට දිසානායක මහතා දෙන ලද පිළිතුරක එසේ සඳහන් වේ.
මෙසේ ආනයනය කරනු ලබන ඖෂධවල මිල පාලනය කිරීමේ වගකීම ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති පාරිභෝගික අධිකාරියට බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සභාගත කළ පිළිතුරෙහි සඳහන් වේ.
HC

 

ඖෂධ මිල පාලනය ජනවාරි සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මකයි’ – සෞඛ්‍ය ඇමති

Meithreepala_12කොළඹ, ලංකාපුවත්) – ඖෂධ සම්බන්ධයෙන් මිල පාලනය ලබන ජනවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උප‍දෙස් පරිදි මෙම මිල පාලනය ඔස්සේ ඖෂධ මගින් ජනතාව සූරා කෑම වැළකෙන බවත් මෙම මිල පාලනයට කවුරුන් විරුද්ධ වුවත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනු ලබයි.

ඖෂධ මිල පාලනය ක්‍රියාත්මක කිරීමේ දී ඖෂධ හිඟයක් ඇතිවන බවට ඇතැමුන් කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැත.

මෙවර අයවැය මගින් ඖෂධ සඳහා රුපියල් දසලක්‍ෂ විසිඑක්දහසක මුදලක් වෙන් කර තිබියදී ඖෂධ හිඟයක් රටතුළ ඇති නොවනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබේ.